×

අත්හැර දැමූ කන්ටේනරයක් තුළ ඇත් දළ ටොන් 3 ක්!

කාම්බෝජය විසින් ටොන් 3 කට වඩා අධික ඇත්දළ 1026 ක් අල්ලාගෙන රාජසන්තක කර තිබේ.


ෆොම් පෙන් වරායෙන් මේවා අල්ලාගත්තේ, කාම්බෝජයේ පිහිටා තිබෙන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ලබාදුන් ඔත්තුවක් අනුව වීම ද විශේෂත්වයකි.

මේවා කාම්බෝජයට එවා තිබෙන්නේ මොසැම්බික් රාජ්‍යයේ සිට ය. කාම්බෝජයේ ෆොම්පෙන් වරාය, අප්‍රිකානු ඇතුන්ගේ දළ ජාවාරම් කිරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මෙය, ඩොලර් බිලියන ගණනක මහා ජාවාරමකි.

මෙම ඇත්දළ තිරුවානා ගල් කන්ටේනරයක් තුළ සඟවා, කන්ටේනරය කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිදි වරායේ අතහැර තිබූ බව ද වාර්තා වේ. එසේම මෙම ඇත්දළ තොගය, පසුගිය වසරේදී එවා තිබීමත් විශේෂත්වයකි.

මෙම බහාලුම යම්කිසි පුද්ගලයෙකුගේ නමට එවා තිබූ අතර, එම පුද්ගලයා එය භාරගැනීමට වරායට පැමිණ තිබුණේ නැත.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ අසල්වැසි තායිලන්තය නීතිවිරෝධී ඇත් දළ ජාවාරම දරුණු ලෙස මර්දනය කරමින් සිටින නිසා, කාම්බෝජය වෙත ඇත් දළ ජාවාරම්කරුවන්ගේ ඇස යොමු වී ඇති බවයි. කාම්බෝජය තුළ දුර්වල නීති සහ දූෂණය අධික වීම හේතුවෙන් මෙවැනි අය නීතියේ රැහැනට හසු වන්නේ මද වශයෙනි. මේ අතර චීනය සහ වියට්නාමය තුළ, කාම්බෝජය හරහා ගෙන්වන ඇත්දළ සඳහා අති දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබේ.

කුඩා ඇත් ගහණයක් ජීවත් වන රටක් වන කාම්බෝජය, මේ අන්දමින් ඇත් දළ ජාවාරම සඳහා තෝතැන්නක් බවට පත්වීම සිදුව තිබෙන්නේ ගතවූ වසර 5 ක කාලය තුළ බව ද වාර්තා වේ.

මීට පෙර 2014 වසරේදී ද මෙවැනිම ටොන් 3 ක ඇත්දළ තොගයක් කාම්බෝජ රේගුව විසින් සොයාගැනුණි. එවර එය සඟවා තිබුණේ බෝංචි කන්ටේනරයක් තුළ ය.

මේ අතර පසුගිය වසරේදී එරටින් හමු වූ ලී කොට පිරවූ කන්ටේනරයක් පරීක්ෂා කරද්දී හෙළිවූයේ , එම ලී කොටවල ඇතුළත කුහරයක් සාදා එම කුහරය තුළ ඇත් දළ සඟවා ඇති බව ය. එම කන්ටේනරය ද අත්හැර දමා තිබූ එකකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි