×

‘‘ගෙවල් කුලී ගැන – ආහාර පානවලට යන මුදල් ගැන වදවෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා..!‘‘ – ලංකාවේ නෙවෙයි – කැනඩාවේ, කැනඩාවේ!!

‘‘කිසිම කැනේඩියානුවෙක් ගෙවල් කුලී ගෙවීම ගැන.. එහෙමත් නැතිනම් ආහාර පාන මිලදී ගැනීමට මුදල් නැතිවීම ගැන කරදර වෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා...‘‘


‘‘කිසිම කැනේඩියානුවෙක් ගෙවල් කුලී ගෙවීම ගැන.. එහෙමත් නැතිනම් ආහාර පාන මිලදී ගැනීමට මුදල් නැතිවීම ගැන කරදර වෙන්න එපා.. අපි ඔබව බලා ගන්නවා…‘‘ එසේ පවසන්නේ මේ මොහොතේ ලෝකයේ සිටින ඕනෑම මිනිසෙකු හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරන රාජ්‍ය නායකයෙකු වන ජස්ටින් ටෘෘඩෝ ය.

කොරෝනා හෙවත් COVID-19 වසංගතය හමුවේ සංවර්ධිත රටක් වන කැනඩාවේ සාමාන්‍ය ජනතාව මුහුණ දීමට නියමිත ආර්ථික අපහසුතා ගැන ඔහු අතිශය සංවේදී ය.

ඒ අනුව “significant fiscal stimulus package” හෙවත් ‘සුවිශේෂී මූල්‍ය සහන පැකේජයක්‘ කැනේඩියානුවන්ට හඳුන්වා දීමට කැනඩා රජය තීරණය කර තිබේ.

“No one should have to worry about paying rent, buying groceries, or additional child care because of COVID-19. We will help Canadians financially,” යැයි පසුගිය සිකුරාදා ජස්ටින් ටෘෘඩෝ පවසන්නේ ඒ අනුව ය.

‘‘ඔබ ඔබේ සෞඛ්‍යය ගැන දුක් වෙනවා. ඔබේ පවුලේ අයගේ සෞඛ්‍යය ගැන දුක් වෙනවා. ඔබේ රැකියාව ගැන, ඔබේ ඉතුරුම් ගැන, ගෙවල් කුලී ගෙවීම ගැන, දරුවන් පාසල් නොයාම ගැන දුක් වෙනවා. ගෝලීය ආර්ථිකයේ අස්ථාවර කම ගැන ඔබ දුක් වෙන බව මම දන්නවා. ඔබ ආරක්ෂිත නමුත් මේ අන්දමින් ජීවත් වීම තුළ ආර්ථිකයට බලපෑමක් සිදුවන බව අපි දන්නවා. නමුත් ඒ වගේම, ඔබට සුවිශේෂී ආර්ථීක සහන පැකේජයක් ලබාදෙන්නට තරම් හොඳ තත්වයක අප සිටින බවත් මම ඔබට කියනවා..“

යැයි ටෘෘඩෝ එහිදී කියයි.

මුදල් අමාත්‍ය බිල් මොන්රේයු විසින් මෙයට අවශ්‍ය නීති රීති හා මුදල් වෙන්කිරීම් ලහි ලහියේ සූදානම් කරමින් සිටියි.

මෙම සුවිශේෂී පැකේජය ලබාදෙන්නේ මේ සතියේ මුල කොරෝනා සමග සටන් කිරීම සඳහා ම වෙන් කළ ඩොලර් බිලියනයක පැකේජයට අමතරව ය.

ටෘෘඩෝ මේ සියල්ල කරන්නේ ‘ළඟ එන ඡන්දයක්‘ ඉලක්ක කර ගෙන නොවන බව ද මතක තබා ගන්න!

කැනේඩියානු අගමැතිවරයාගේ පවුල ද මේ වන විට නිරෝධායනයට ලක්ව සිටියි. ඔහුගේ බිරිඳ වන සොෆී කොරෝනා ආසාදනයට ලක්ව ඇති බව පසුගියදා හෙළි විය. කොරෝනා ලක්ෂණ නොමැති නම්, එය පරීක්ෂා කර ගැනීමේ උවමනාවක් ද නොමැති හෙයින්, වෛද්‍ය උපදෙස් අනුව ටෘෘඩෝ කොවිඩ්-19 පරීක්ෂාවන් සඳහා නිකරුණේ ලක්වූයේ නැත.

ටෘෘඩෝ මේ වන විට අගමැති ධුරයේ වැඩ කටයුතු කරන්නේ නිවසේ සිට ය. තවත් සති 2 ක කාලයක් මේ අන්දමින් ඔහු නිවසේ සිට රැකියාව කරනු ඇත. ඒ අනුව සිය රට වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීමට ඔහු රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැළෙයි. ජූලි 1 වැනිදා වන තෙක් මගීන් 500 කට අධික කිසිදු නෞකාවක් කැනඩා තොටුපොළවල ගොඩ නොබෑ යුතු බව ඔහු විසින් ගෙන ඇති එක් තීරණයකි. අන්තර්ජාතික ගුවන් සේවාවන් සඳහා ද විවෘත කර තිබෙන්නේ සීමිත ගුවන් තොටුපොළ ගණනක් පමණි. කැනඩාවෙන් පිටතට සිදුකරන අත්‍යාවශ්‍ය නොවන සියලු ගමන් බිමන් නතර කරන ලෙසට ද ආණ්ඩුවෙන් නියම කර තිබේ.

ජනතාව විපතට පත්වූ විට නායකයන් ක්‍රියා කරන ආකාරයෙන් නායකයන්ගේ සැබෑ ගතිගුණ හඳුනා ගත හැකිය. ඔවුන් ජනතාවට සැබවින්ම කොතරම් හිතෛෂීදැයි හඳුනා ගත හැකිය.

අද රාත්‍රී 8 ට ලංකාවේ රාජ්‍ය නායකයා ද ජාතිය ඇමතීමට නියමිත ය. තහවුරු කළ රෝගීන් 19 දෙනෙක් සිටින, 212 ක් නේවාසික ප්‍රතිකාර ලබන, එදා වේල සරිකර ගත නොහැකි අති බහුතරක් හූල්ලන රටකට රාජ්‍ය නායකයා ලබාදෙනු ඇත්තේ කුමන ආකාරයේ සහනයක්ද?

අපි බලා සිටිමු.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි