මෙයට පෙර, එනම් වසර මිලියන 3කට පෙර එය මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයට ළඟා වූ අවස්ථාවේදී මිහිතලයේ සමස්ත රත්වීම සෙල්සියස් අංශක 2-3 අගයකට විචලනය විය.
අංශක දෙක තුනක් යනු ගණන් ගත යුතු දෙයක් නොව් යැයි ඔබට සිතෙන්නට පුළුවන.
නමුත් එහි ප්‍රතිඵලයක් ලෙසට සාගර ජල මට්ටම මීටර 10-20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගියේය.
මෙවරත් එය එසේ සිදුවුවහොත් මුලින්ම ගිලී යන දූපත් රාජ්‍යයන් අතරට මාලදිවයින පමණක් නොව ලංකාව ද එක්වීමට ඉඩ තිබේ.
දේශගුණික විපර්යාස යනු ලෝකය වඩාත්ම නොසලකා සිටින, නමුත් ලෝකයේ අවධානයට වඩාත්ම ලක්විය යුතු පාරිසරික ගැටළුවයි. එයින් ඔබ අවදිවීමට ගංවතුරක් ඔබේ ජනේලයේ මට්ටමට පැමිණෙන තෙක් හෝ සුළිකුණාටුවකින් ඔබේ නිවසේ වහලය ගසාගෙන යන තෙක් සිටිය යුතු නොවේ.
එසේ බලා සිටිනවා නම් ඔබ ප්‍රමාද ය. එයට හේතුව දැනටමත් මිනිස් වර්ගයා, මේ ගැටළුවේදී ප්‍රමාද වැඩි වී සිටීමයි.
මේ වන විට පෘථිවි වායුගෝලය මුහුණ පා සිටින අභියෝගාත්මකම ඛේදවාචකය වන්නේ, පාරිසරික ඉලක්ක සහ යථාර්ථය අතර ඇති පරස්පරයයි.
එය දිග කතාවකි. හරිතාගාර වායු විමෝචනය මිහිතලය උණුසුම් වීමේ ප්‍රධානතම කාරකය බවට හඳුනාගෙන දශක ගණනාවක් ගත වී ඇතත් මේ දක්වා ද හරිතාගාර වායු විමෝචනය අවශ්‍ය මට්ටමට අඩු කර ගැනීමට මිනිසා සමත් වී නැත.
ලෝකයේ සෑම රටක්ම පාහේ එය කරන බව කියා තිබුණත්, මේ වන විට ලෝකය ගිල ගනිමින් සිටින හරිතාගාර වායු විමෝචනයේ ඉහළ යාම මෙසේ ය.
මීතේන් වායුව – 259%
නයිට්‍රස් ඔක්සයිඩ් – 123%
කාබන්ඩයොක්සයිඩ් – 149%
(Source: WMO)
Cattlefeeders.ca
මෙය වසර 30කට පෙර පෘථිවි වායුගෝලයේ පැවති කාබන්ඩයොක්සයිඩ් මට්ටමට වඩා 43%ක සමස්ත ඉහළ යාමකි.
මේ නව සංඛ්‍යාලේඛන එළිදුටුවේ හුදෙක් වායු විමෝචන (emissions) පමණක් නොව සම්පූර්ණ වායු සංඝනීකරණයන් (gas concentrations) පිළිබඳ සිදුකළ The State and the Variation og Greenhouse Gases in the Stmosphere නමැති අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ය.
පෘථිවියේ ක්‍රියාකාරකම්වලින් හරිතාගාර වායු විමෝචනය වීමෙන් අනතුරුව ඒවා අපේ ගොඩබිම, මුහුද සහ වායුගෝලය සමග ප්‍රතික්‍රියා කරන්නට පටන් ගනියි.
හරිතාගාර වායු අතරින් කාබන්ඩයොක්සයිඩ් මේ අතරින් සුවිශේෂ ය. වායුගෝලයට විමෝචනය වන සියලු කාබන්ඩයොක්සයිඩ්වලින් 1/4 ක් පමණ උරා ගන්නේ (අවශෝෂණය කරන්නේ) සාගරය විසිනි. මේ කාරණය, සාගරයට අප කොතරම් කෘතඥ විය යුතුද යන්න නැවත වරක් පසක් කර දෙයි.
එසේ සාගරය විසින් අවශෝෂණය කර නොගෙන ඉතිරි වන කාබන්ඩයොක්සයිඩ් අංශු ඉහළ වායුගෝලයේ ‘ග්‍රීන් හවුස් ගෑස් කන්සන්ට්‍රේෂන්ස්‘ හෙවත් ‘හරිතාගාර වායු සංඝනීකාරක‘ වශයෙන් ඉතිරි වේ.
එහි බලපෑම ඔබ – අප සිතනවාට වඩා බරපතළ ය.
ඒවා වායුගෝලයේ ස්ථර වශයෙන් රැඳී තාප විකිරණය හෙවත් අධෝරක්ත කිරණ උරා ගනිමින් පෘථිවියේ උෂ්ණත්වය තව තවත් ඉහළ දමයි. එනම් මිහි මඬල තව තවත් රත් කරයි.
එහි ප්‍රතිඵලය ලෙස දඬුවම් විඳිනු ඇත්තේ අනාගත පරපුර ය. ඉහළ යන සාගර ජල මට්ටම් සහ දරුණු කාලගුණික තත්වයන් (extreme weather)වලින් ඔවුන් පීඩාවට පත් වනු ඇත.
අප ජීවත් වන රටවල් හරිතාගාර වායු විමෝචනය අවම කර ගැනීම සඳහා කර ඇත්තේ මොනවාද?
2019 වසරේ වචනය ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් හඳුන්වා දුන් ‘ක්ලයිමේට් ඉමර්ජන්සි‘ (Climate Emergency) පිළිබඳ ඔබ දන්නවාද? මේ පිළිබඳ අප විසින් මීට පෙර ලිපියක් පළ කර ඇත. (කියවන්න – ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට අනුව 2019 වසරේ වචනය Climate Emergency)
‘දේශගුණික හදිසි තත්වය‘ ලෙස සිංහලයට පරිවර්තනය කළ හැකි මෙම වචනයෙහි අර්ථය වන්නේ ‘‘දේශගුණික විපර්යාස අවම කිරීම හෝ නැවැත්වීම සහ එයින් ඇතිවිය හැකි ආපසු හැරවිය නොහැකි පාරිසරික හානිය වළක්වා ගැනීම සඳහා හදිසි ක්‍රියාමාර්ග ගත යුතු තත්වයක්‘ යනුවෙනි. මෙම වචනයේ භාවිතය 2019 වසර තුළ 10796%කින් ඉහළ ගොස් තිබේ.
එය අපට නැවත වරක් ඉඟි කරන්නේ කුමක්ද?
හරිතාගාර වායු විමෝචන අවම කර ගන්නා ඉලක්කය අප විසින් සපුරා නොගතහොත් පෘථිවියේ ඉදිරි අනාගතයම ‘දේශගුණික හදිසි තත්වයක්‘ බවට පත් විය හැකි බවයි.