×

අමන දේශපාලනයෙන් වලපල්ලට ගිය රටවල්!

ලෝකයේ හැරවුම් ලක්ෂය තීන්දු කරන්නේ දේශපාලනයයි. යම් රටක දේශපාලකයා සුභවාදී වන්නේද, එවන් රටවල් සංවර්ධනයේ ඉම වෙත ලඟා වේ.


“මිනිසා දේශපාලන සත්වයෙකි” යයි දේශපාලන විද්‍යාවේ පියා යැයි හඳුවන්වන ඇරිස්ටෝටල් පැවසුවේය. ඉන් හැඟෙනුයේ මිනිසුන්ගේ සියලු චරණයන් කිසියම් දේශපාලනික නැඹුරුවකින් යුතුව ද සිදු වන බවය. හැමදේම දේශපාලනය මතම තීරණය වන ලෝකය තුල දේශපාලනයෙන් ව්‍යුක්තව කිසිවෙකුට මිහිපිට ජීවත් විය නොහැක. බොහෝ මිනිසුන් තමන් දේශපාලනයෙන් වියුක්‌ත බව පෙන්වීමට යත්න දැරුවද ඒ උත්සාහය තුළම තමන්ගේ දේශපාලනය ස්‌ථාන ගත වන බව ඔවුහු නොදනිති. එතරම්ම දේශපාලනය යනු මසට සම සේ, ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්‍රියාදාමයකි.

ලෝකය ඉදිරියට යන්නේද ආපසු හවරවන්නේද යන්න තීන්දු කරන්නේ දේශපාලනය විසිනි. යම් රටක දේශපාලකයා සුභවාදී ලෙස තමාගේ මව්බිමේ අනාගතය දකින්නේ නම් එවන් රටවල් සංවර්ධනයේ ඉම වෙත ලඟා වෙන අතර, අප වැනි පසුගාමී මජර දේශපාලන යාන්ත්‍රණයක හිරවුණු රටවල දේශපාලනය වෙනුවට රටවල් හප කර ශාරය උරාබොන පිශාචයන් නායකත්වයට පත් වීමෙන් සිදුවන්නේ දිනෙන් දින එම රටවල මකර කටට තල්ලු වීමය. අද ලෝකයේ විනාශ වී ඇත්තේ ආර්ථික සුනාමියට හසු වූ රටවල්ය. එම රාජ්‍යයන් සිංහාසනාරූඩ දේශපාලුවන් ගේ මුලික අරමුණ ජනතා මුදල් මංකොල්ල කමින් පරපුර තරකිරීමය. ඔවුන් ජනතාවගේ දුක නොහඳුනන අතර, ජීවිත තුට්ටුවකට මායිම් නොකරති. වසර හැත්තෑ එකක ශාපලත් අත්දැකීම් සම්භාරයක් කරපින්නාගෙන අනාගතය වෙත කිහිලිකරුවෙන් ගමන් කරන අපේ මාතෘභූමිය වැනි තවත් අවාසනාවන්ත රටවල් බොහොමයක් මේ මිහිතලය තුලදී අපට හමුවේ. මේ සටහන් පෙලින් ඔබවෙත ගෙන එන්නේ දූෂිත දේශපාලුවන්ගේ අමනකම් මතින් විනාශ මුඛයට ඇද දමන ලද දේශයන්හි ඛේදවාචකයයි. අපද එවන් රටවලට සමරුපී බැවින් මෙහි එන බොහෝ සිදුවීම් වලට අප රටේ නාමාවලිය පමණක් ආදේශ කර ගැනීම පමණක් සෑහේ.

පවුල් පාලනයෙන් වැනසී ගිය අප්‍රිකාවේ තෙල් ආකාරය – චැඩ්

වලපල්ලට ගිය රාජ්‍යයන් බහුලව ඇත්තේ අප්‍රිකාවේය.ඒ අතරින් චැඩ් රාජ්‍යය ලෝකයේ හත්වැනි දුප්පත්ම රට ලෙස සම්මානය ලබා ඇත. අප්‍රිකාවේ 5 වැනි විශාලතම රට මෙන්ම ලෝකයේ විශාලත්වය අතින් 22 වෙනි ස්ථානයේ පිහිටි මෙම රට පිහිටා ඇත්තේ ලිබියාව, සූඩානය, කැමරුන්, නයිජීරියාව, නයිගර් යන රටවල් රාශියකට මැදිවය. ජනගහණය එක් කෝටි හතළිස් ලක්ෂයකට (13,870,084) ආසන්න මෙම රට විශාලත්වයෙන් ව.කි.මී. 1,284,000ක් හෙවත් ව.සැ. 496,000 කි. චැඩ් යනු වැරදි දේශපාලනය හේතුවෙන් ලොව දූෂිතම රාජ්‍යයන්ගෙන් එකක් බට පෙරළු අවාසනාවන්ත භූමියකි. වසර 69 ක් පුරා මේ රට ප්‍රංශය විසින් හූරාකනු ලැබීය.

ලියාපදිංචි දේශපාලන පක්ෂ 78ක් බලය ලබා ගැනීමට පොරබදින තවත් අසමත් රාජ්‍යක් වූ මෙහි වසන ජනගහනයෙන් 80% ක් මුලික අවශ්‍යතාවයන් හෝ නොමැති අන්ත අසරණභාවයට පත් වූ පුරවැසියන්ගෙන් පිරී ඉතිරී ඇත. මේ රටේ අඳුරු පැතිකඩ හෙළිකරමින් නිකුත් වූ වාර්තාවක සටහන් වී ඇත්තේ ළමා ජනගහණයෙන් 39% කට වැඩි පිරිසක් කිසිදා පාසැලකට නොගිය බවය. මෙහි මන්ද පෝෂණයෙන් පෙළෙන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා තිබේ. සෑම දරු උපත් 1000කට 90ක් පමණ මිය යන්නේ රටේ යථා තත්ත්වය ලොවට මනාව පෙන්වමිනි. විරැකියාව හිස ඔසවා ඇති අතර සරණාගතයින් ගෙන් රටෙන් අඩක් පිරී ඇත.

1960 අගෝස්තු 11 දා ප්‍රංශ යටත්විජිත පාලනයෙන් නිදහස ලැබූ චද්රටේ පළමු පාලකයා වූ ෆ්‍රැන්සිස් 1975 අප්‍රේල් 13 දා ඝාතනය කරනු ලැබුවේ ඔහුගේ දූෂිත ක්‍රියා ජනතාවගේ විරෝධයට පාත්‍ර වීම නිසාය. ඉන් පසුව ජනපතිවරුන් හත්දෙනෙකු විසින් රට කෙරවූ අතර, සියල්ලන්ම රටේ සම්පත් විකුණා, හොරාකමින් තම පවුල් පදනම් තර කරගත්තේය. 1990 සිට මේ දක්වා වසර 29ක් එරට ජනපති පදවිය දරන්නේ සිද්රිස් ඩෙබි ය. 18 වන සංශෝධනය හරහා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් දිවි ඇති තෙක් ජනපති වීමට සැරසුණු මහින්ද මෙන් ඔහුද තම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරමින් එම නාඩගම රඟ දැක්කුවේය. මහින්ද මෙරට ජනතාව ඉවෙන් බලයෙන් පහකළ අතර, එරට ජනතාවට එම අවස්තාව හෝ ලබා නොදීමට මෙම පාලකයා ඉඩ නොතබුවේය. වසර 29ක් තිස්සේ මෙහි ගෙන යන්නේ පවුල් පාලනයකි. බිරියන් කීපදෙනකු සමඟ විවාහ වී ඇති ඔහුට සිටින ළමයින් සංඛ්‍යාව 12 දෙනෙකි. බිරියන් ළමයින් හා ඥාතීන් රජයේ ඉහළම තනතුරුවලට පත් කරගෙන ඔහු දූෂිත පාලනයක නිරතවේ. ඔහුගේ එක් බිරියක වූ හින්ඩා අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ඇමති තනතුරක් හොබවන්නීය. ඇය ජනපති ප්‍රධාන උපදේශිකාවයි. ඇමතිවරුන්ට නියෝග නිකුත් කරනුයේ ඇයයි. ඇය රජයේ සම්පත් අවභාවිත කරමින් රාජ්‍ය දේපොළ විදේශ සමාගම්වලට විකුණමින් මෙම රට කාලකන්නි , අරාජික තත්ත්වයට පත් කල “ආර්යාවකි”. බලයෙන් හිස උදුම්මා ගත සියලු ආර්යාවන්ගේ තත්වය එයමය. ජනපති ඉද්රිස්ගේ වැඩිමහල් පුත්‍රයා බ්‍රහිම් ය. ඔහු 27 හැවිරිදි තරුණයෙකි. රටේ ආදායම් උපයන මර්මස්ථාන රාශියක් පාලනය කළේ ඔහුය. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ගනුදෙනු, රාජ්‍ය දේපොළ කුණු කොල්ලයට විකිණීම ආදී චෝදනා රාශියක් ඔහුට එරෙහිව එල්ල විය. අවසානයේ ප්‍රංශයේ පැරිස් නුවර ගරාජයක තිබී ඔහුගේ මළ සිරුර සොයාගනු ලැබිය.

අප්‍රිකාවේ තෙල් සම්පත අතින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙස චැඩ් හැඳින්වේ. එහි ඇති තෙල් ආකාර සංඛ්‍යාව 300 ඉක්මවා ඇත. තෙල් වලින් උකහාගත් ධනය රටේ සුභ සිද්ධියට වියදම් නොකරන මෙම පාලකයා , තම හමුදාව වෙනුවෙන් අවි ආයුධ විශාල සංඛ්‍යාවක් ගැනීමටත්, යටි මඩි ගැසීමටත් එම ධනය වියදම් කර ඇත. තෙල් පිරිපහදුව සඳහා චීනය සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඉන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. චීන කොමිස් නොගැසූ දුෂිත පාලකයෙකු සෙවීම නොමල ගෙයකින් අබ සෙවීමට සමාන වී ඇත. දවසකට ඉන්ධන බැරල් 170,000ක් නිපදවන රටක් පාලකයින්ගේ හොරකම් නිසා හිඟා කන තත්ත්වයට පත් වී තිබීම ඉමහත් අභාග්‍යයකි.

කෙන්යාවට වාගේම චැඩ් දේශයටත් කණ කොකා හැඬුවේ මෙහි ජනපති ද චීනය සමඟ රට වනසන ව්‍යාපෘති ඇරඹීමට පෙළඹුණ නිසාය. මෙහි පැවැත් වූ මැතිවරණ ඉතා දූෂිත වූ බවද වාර්තා වේ. 2016 වර්ෂයේදී චැඩ් දේශයේ හිටපු පාලකයා වූ හිසෙනි හෙබ්රූ සෙනෙගාල් හිදී නඩු විභාගයෙන් පසුව ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩ කිරීම හා මහා පරිමාණයෙන් දූෂණ ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධයෙන් ජීවිතාන්තය තෙක් සිර දඬුවමකට පත්වීම අප්‍රිකාවේ දූෂිත පාලකයින්ගේ නෙත් විවිර කළ සිද්ධියකි.

Rohana Wijeweera Facebook පිටුව



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි