×

වකන්ඩාව කැළඹෙයි – බ්ලැක් පැන්තර් තරු චැඩ්වික් බෝස්මන් මිය යයි!

වකන්ඩාවේ කුමරුනි, ඔබට සුභ ගමන්...


මාවල් සිනමැටික් යුනිවර්ස් හි බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ ට’ඛාලා නොහොත් බ්ලැක් පැන්තර් චරිතයට පණපෙවූ සුපිරි හොලිවුඩ් නළු චැඩ්වික් බෝස්මන් අභාවයට පත් ව තිබේ.

කළු ඇමරිකානු ප්‍රජාව අතර සංකේතාත්මක තරුවක් බවට පත්වූ චැඩ්වික් මිය යන විට 43 හැවිරිදි වියේ පසුවිය.

2016 වර්ෂයේ දී තෙවන අදියරේ පසුවූ ආන්ත්‍රික පිළිකා තත්ත්වයක් හටගත් බවට තහුවුරු වූ චැඩ්වික් ගේ එම පිළිකා තත්ත්වය සිව් වන අදියර දක්වා උත්සන්න වී තිබූ බවට වාර්තා වේ.

“සැබෑ සටන්කරුවෙකු වන චැඩ්වික් ඒ සියල්ල තුළ නොපසුබට උත්සාහයක් දැරූ අතර ඔබ මෙතරම් ආදරය කළ චිත්‍රපට බොහොමයක් ඔබ වෙත ගෙන ආවා” යනුවෙන් ඔහුගේ මරණය ප්‍රකාශයට පත්කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඔහු රඟපෑ මාෂල්, ඩ ෆයිව් බ්ලඩ්ස්, මා රෙයිනිස් බ්ලැක් බොටම් ඇතුළු චිත්‍රපට ගණනාවකම රූගත කිරීම් අතර තුළ සායනික චිකිත්සා මත චැඩ්වික් පසුවූ බවට වාර්තා වේ.

චැඩ්වික් රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටය ඇමරිකාව මෙන්ම ලොව පුරා අප්‍රිකානු සම්භවය සහිත ප්‍රජාවන් හට නව බලාපොරොත්තුවක් රැගෙන ආ චිත්‍රපටයකි.

හුදෙක් මාවල් චිත්‍රකතාවක් සිනමාවට නැංවීමට ත් වඩා, ආන්තික ප්‍රජාවන්ගේ අයිතීන්, ඔවුන් සතු අතිවිශිෂ්ඨ කුසලතා හා හැකියාවන්, අප්‍රිකානු ජන සමාජය, සංස්කෘතිය හා විලාසිතා පිළිබඳ නව මුහුණුවරක් රැගෙන ආ බ්ලැක් පැන්තර් චිත්‍රපටය කළු ජාතික ප්‍රජාවන්ගේ අභිමානය මනාව විදහා දැක්වූ සිනමා පටයක් විය.

චැඩිවික් මිය යන විට, ඔහු සමඟ සිය බිරිඳ, සහ පවුලේ සාමාජිකයන් සිටි බවට සඳහන්.

වකන්ඩා අභිමානයේ කුමරුනි, ඔබට සුභ ගමන්!

(Wakanda Forever!)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි