×

චිකාගෝවේ නව නගරාධිපතිනිය සහ ගල්ගසා මරණ බෘනායි නීතිය.

1976 සිට 2017 වසර තෙක් ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුවේ වාර්ථාවලට අනුව චිකාගෝව යනු ඇමරිකාවේ දූෂිතම නගරය වන්නේය


ඊයේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝවේ නගරාධිපති ධූරයට කළු ජාතික කාන්තාවක් පත් වූවාය. ලොරී ලයිට්ෆූට් නැමති ඇය තේරී පත් වන්නේ තවත් අපේක්ෂකයින් 13 දෙනෙකු පරාජයට පත් කරමිනි. ඇය 56 හැවිරිදි සමරිසි කාන්තාවක් වීම සුවිශේෂත්වයකි. මින් පෙර දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් අඩු වුවද ඇයව ආදරයෙන් පිළිගන්නට චිකාගෝ වැසියන් සූදානමින් සිටී. විශේෂයෙන්ම කළු ජාතික කාන්තාවක් ලෙස මෙවැනි තනතුරක් ඇය විසින් හිමි කර ගැනීම සම්බන්ධව ඇමරිකානු හිටපු ජනපති බැරක් ඔබාමා විසින් සිය ප්‍රශංසාවද සතුටද පල කර සිටියේය.

චිකාගෝව යනු ඇමරිකාවේ සැළකිය යුතු අපරාධ සිදුවීමේ ප්‍රවණතාවක් ඇති නගරයක් ලෙස ප්‍රසිද්ධ වූවකි. 1976 සිට 2017 වසර තෙක් ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුවේ වාර්ථාවලට අනුව චිකාගෝව යනු ඇමරිකාවේ දූෂිතම නගරය වන්නේය. එමෙන්ම මෙතෙක් චිකාගෝව පාලනය කළ නගරාධිපතිවරුන්ගෙන් 30කට අධික සංඛ්‍යාවක් දූෂිත පාලකයන් ලෙස චෝදනා ලැබූ අයයි.

එමෙන්ම අසල් වැසි ප්‍රාන්ත වල සිට වැඩිම ප්‍රමාණයක් අවි ආයුධ ගලාගෙන එන්නේද චිකාගෝවටය. චිකාගෝ පොලීසියට අනුව පසුගිය වසර තුළදී සියයට 24%ක ප්‍රමාණයකින් වෙඩි තැබීමි අඩුව ඇති අතර මිනිස් ඝාතන සියයට 15පකින් අඩුව ඇත. නමුත් පවතින තත්ත්වය හමුවේ කාන්තාවක් මෙන්ම කළු ජාතික නගරාධිපතිවරියක ලෙස ඇය හමුවේ පැවරී ඇති අභියෝග රැසකි. නමුත් කළු ජාතික සමරිසි කාන්තාවකට සිය පාලනය භාර දීම චිකාගෝ වැසියන් ගත් හොද තීරණයක් වන්නටද බොහෝ දුරට ඉඩ ඇත.

මේ අතර චිකාගෝවේ මෙසේ සිදු වන විට ලෝකයේ තවත් රාජ්‍යයක් වන බෘනායී ඊයේ සමරිසි සම්බන්ධතා පවත්වන්නන්ට එරෙහිව ලෝකයේ දරුණුතම දණ්ඩනය නීති ගත කරනු ලැබීය. ජාත්‍යන්තරව දැඩි විවේචන සහ ඉල්ලීම් එල්ල වෙමින් පවතින අවස්ථාවක බෘනායි පාලනය ඊයේ සිට සමරිසි සබදතා පවත්වන ඕනෑම පුද්ගලයෙකු පොදු ස්ථානයක තබා ගල් ගසා මැරීමට තීරණය වූ නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී.

නව නීතියත් සමග බෘනායි හී පාලකයා වන සුල්තාන් හසනල් බොල්කියාගේ හිමිකාරීත්වය යටතේ වන ලෝකප්‍රසිද්ධ බෘනායි ඉන්වෙස්ට්මන්ට් ඒජන්සි ආයතනයට අයත් ඩොචස්ටර් හෝටල් සමූහය ප්‍රතික්ෂේප කිරීමට ලෝකයේ රටවල් රැසක අවධානය යොමු වී ඇත. විශේෂයෙන්ම ලන්ඩනයේ මෙන්ම අමරිකාවේ ලෝස් ඇන්ජලිස් හී පිහිටා ඇති මෙම සමූහයට අයත් හෝටල් මින් ඉදිරියට ප්‍රතික්ෂේපයට ලතක් වනු ඇත. සුප්‍රසිද්ධ හොලිවුඩ් නලු ජෝර්ජ් ක්ලූනි පසුගියදා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් බෘනායි පාලකයාට අයත් මෙම වාණිජ ව්‍යාපාරයන් සියල්ල ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කලේය. එමෙන්ම සුප්‍රසිද්ධ ගායක එල්ටන් ජෝන් , රූපවාහිනී නිවේදක එලන් ඩී ජෙනෙරස් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයද බෘනායි පාලනය වෙත අවධාරණය කර සිටියේ මෙම නීතිය ක්‍රියාත්මක කිරීම නවතා දමන ලෙසය. නමුත් බෘනායි පාලක හසනල් බොල්කියා ඒ කිසිවක් නොඅසා ඊයේ සිට බෘනායි හී නීතිය ස්තාපිත කරන ලදී.

මේ අනුව මේ වන විටත් බෘනාහී සමරිසි පිරිස් විසින් බටහිර රටවල පුරවැසිභාවය ලබා ගැනීමට කටයුතු උත්සහා දරමින් සිටිති.

ලෝකයේ අන්ත දෙකක රටවල් දෙකක් තුළ එකම දිනයේදී එකම පිරිසක් පිළිබදව ගත් තීරණ දෙකක් හාත් පසින්ම වෙනස් මගක් ගෙන ඇත. ඇමරිකාවේ දූෂිතම නගරය වන චිකාගෝව පාලනය කිරීමට කළු ජාතික මෙන්ම සමරිසි කාන්තාවක් සදහා ධෛර්යයක් ඇති බවට තීරණය කර තමන් එහි පාලකයා බවට ඇය පත්වෙද්දී ලෝකයේ තවත් අන්තයක ඇති බෘනායි හී සමරිසි පුද්ගලයින් ගල් ගසා මරා දැමීමට තීරණය විය .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි