×

පමා වී ආ පවන

‘‘අර ඉන්නෙ මගෙ පළවෙනි කෙල්ල...” මා අසල සිටියෙකු මහත් උද්වේගයෙන් යුතු ව කෑ ගසනු මට ඇසෙයි. එය උසස් පාසලෙන් අප සමුගැනීමෙන් පසුව පැවැත්වෙන හතළිස් හතරවැනි සුහද හමුවයි.


බොබ් ග්‍රොව්ස්ගේ දෑත් මගේ බඳ වටා එතී ගොසිනි. ඔහුගේ නිවුන් සොයුරිය මගේ සමීප මිතුරියකි. ඔහු මෙහි එන බව කීවේ ඇයයි. ඉතින් මම ඔහු දෙස බලා සිටිමි. අප එකිනෙකා ව හමුවන්නේ හතළිස් හත් වසරකට පසුව ය. ඔහු සමග මට ලොකු අතීතයක් නැත. අප දෙදෙනා සිටියේ එකම භූගෝල විද්‍යා පන්තියේය. එවකට ඔහු උපැස් පැළඳුවේය. මා නම් උපැස් පළඳින්නේ දැන් හෙයින් ඒ ගැන මම තදින් ම සිතමි. අඩුම ගානේ ඔහු මට විහිළු කරන එකක් නැහැ. යැයි මම මට ම කියාගත්තෙමි.

එකල වයසින් වැඩෙත් ම බොබ් අපේ ගෙදර එන්නට පටන් ගත්තේය. ඔහු මට පොත් පත් ගෙනැවිත් දුන් අතර මා සාදයන්ට ද ඇරලුවේය. නමුත් ඒ කිසිම විටෙක අප අතිනත පටලාගෙන හෝ නොතිබිණි.

බොබ් දැන් තනිකඩයෙකු බව ද විශ්‍රාමික බව ද මට කීවේ ඔහුගේ සොයුරියයි. ඒ වන විට මම දෙවසරක වැන්දඹුවක් වීමි. ඒ නිසා ඉදිරි දිනයන්ගේ සැඳෑවන් එකිනෙකා සමග ගතකිරීම ට බාධාවක් නොමැති බැව් අපි අවබෝධ කර ගතිමු. පළමු සන්ධ්‍යාවේ මා නිවස ට යාමට සූදානම් වන විට ඔහු මෙසේ කීවේය.“ඒයි.. ඔහොම ඉන්න.. මම ඔයාව කාර් එක ළඟට ඇරලවන්නම්…” ඔහු මගේ අතකින් අල්ලා ගත්තේය. අපි රථ ගාල වෙත ආවෙමු. “මේ තියෙන්නෙ මගෙකාර් එක.” මෝටර් රියේ දොර අගුලු හරින අතර මම කීවෙමි. ඔහුට සිනාවක් පා රථයට ගොඩවන්නට හදත් ම ඊළඟ ඇසිල්ලේ ඔහු මා තමන් වෙත ට හරවා ගත්තේය. මෙසේ කෙඳිරුවේය. “ඉස්සර මම මේකට හුඟක් ලැජ්ජාවෙන් හිටියෙ.”ඔහු මෘදු ලෙස මගේ දෙතොල් සිප ගත්තේය.

පුදුමය සහ තිගැස්ම මසිත වෙළාගත්තේය. නමුත් ඔහුගේ දෙතොල්වල උණුසුම ආදරණීය බව මට පිළිගන්නට සිදුවිය. කාරය ට නැගෙන්නට පෙර මම ද ඔහුට හාද්දක් දුනිමි. මගේ හද පොපියමින් තිබෙන බව නිවස වෙත රිය පදවාගෙන යන අතර මට දැනිණ. රාත්‍රිය පුරා ද ඒ අමුතු හද ගැස්ම එසේම විය.

ඊළඟ සැඳෑවේ පැරණි මිතුරන් ඇසුරෙහි කල් ගෙවන අතර ඔහු මෙසේ ඇසීය. “අපි අද රෑ නැටුමකට යමුද? මට තනියම යන්න පාළුයි. මට ඔයා ළඟ වාඩිවෙලා ඉන්න ඕනෙ.”

දෙවසරකට පසු ප්‍රථම වරට එම රාත්‍රියේ මට ඇඳුම් පැළඳුම් ගැන අමුතුවෙන් සිත වෙහෙසන්න ට සිදුව තිබිණි. වැන්දඹුවක වීමෙන් පසුව කිසිවෙක් සමග මාගේ හද මෙතරම් ළඟින් බැඳී නොතිබුණා නේදැයි මම සිතන්නට පටන් ගතිමි. “ඔච්චර හිතන්න එපා.” මම මට ම කියාගත්තෙමි. සන්සුන් වීම ට උත්සාහ කළෙමි.

නමුත් ඒ සන්සුන්කම රැඳී තිබුණේ ඔහු අනර්ඝ ස්ටෙට්සන් හැට් තොප්පියක් සහ කව්බෝයි බූට් සපත්තු පැළඳගෙන මා අබියස ට පැමිණෙන තෙක් පමණි. විශ්‍රාමලත් කාර්මික ඉංජිනේරුවෙකු වුවද ඔහු තවමත් හදවතින් තරුණයෙකු බැව් මම දැනගතිමි.

කුඩා කණ්ඩායම් සංගීතය සාදයේ ගුවනත සිසාරා රැව් දුන්නේය. ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍රයේ හඬනැගී ආවේය. “උදේ කෑම 9.30 ට..කලින් ඇහැරෙන්න අවශ්‍ය නැහැ…”

“උදේ කෑමට මට ඉන්න ලැබෙන්නෙ නැති එක ගැන කණගාටුයි.” ගොපල්ලා මිමුණුවේය.

“ඇයි ඒ..? ඔයා ඉන්නෙ නැත්ද?”

“විදිහක් නෑ. මගෙ ගුවන් යානය උදේ 10.30 ට. මම ඒ වෙලාවට ගුවන් තොටුපොළේ ඉන්න ඕනෙ.”

“අපරාදෙ..ඒක තමයි විනෝද ම කාලය” යැයි කීවද පසුතැවිල්ල නොපෙන්නවා සිටීම ට මම තීරණය කළෙමි.

එය වටහාගත්තා සේ ඔහු මා වෙත කෙළින් හැරී විනිවිද යන බැල්මක් හෙළුවේය. කොන්දේසියක් දැමුවේය. “මම යන්නෙ නැතිව ඉන්නවා, ඔයා අද දවස ම මාත් එක්ක ගත කරන්න පොරොන්දු වෙනව නම්..”

“හරි” මා සිතන්නට ත් පළමු මගේ මුවින් පිළිතුර පිටවී අවසන් ව තිබිණි. එහි අරුත වූයේ ඉරිදා දිනයක් වූ පසුදිනය සම්පූර්ණයෙන් ම ඔහු සමග ගතකිරීම ට මට සිදුවන බවයි.
ඔහු මා නිවසට ඇරලවූ පසු මම ඔහුට ගෙතුළට ඇරයුම් කළෙමි. මදක් සංලාපයේ යෙදීමෙන් පසුව ඔහු මාව තරයේ සිපගෙන සුබ රාත්‍රියක් පැතීය. මගේ සමාන ප්‍රතිචාරය ඔහු මහත් ප්‍රීතියෙන් පිළිගත් බැව් මට හැඟිණි. පසුදින අපි මගේ ප්‍රියතම නිවාඩු නිකේතනය වෙත ගියෙමු. එය තරමක් කාන්තාරබද පෙදෙසක පිහිටා තිබුණකි. මද වේලාවක් අතිනත පටලවාගෙන ඇවිදීමෙන් පසුව, වික්ෂිප්ත භාවයට පත් අප දෙදෙනාගේ ම මිතුරෙක් අප ඉදිරියේ සිටගෙන සිටියේය. “මොනවද ඔය දෙන්න අතර සිද්ධ වෙන්නෙ?” ඔහු කෙළින්ම ඇසුවේය. මම අසරණ ව බොබ් දෙස බැලුවෙමි. මා කුමක් කියන්නද..? අනෙක් අතට ඔහු කුමක් කියනු ඇත්ද?

“සහෝදරයා.., මේ ජීවිතේ මම ලැබුව සැහැල්ලුම දවස් ටික විඳිනවා…” යැයි බොබ් නොපැකිළ කීවේය.

ජීවිතයේ මිහිරිතම පස් මසකට පසුව අපි විවාහ වීමු. එවිට අප දෙදෙනාගේ ම වයස අවුරුදු 63 බැගින් විය. මගේ ආදර කතාව ගැන ඔබට විවේචන තිබෙන්නට පුළුවන. නමුත් කවදත් මට අවශ්‍ය වූයේ මේ සිටිනා මට ආදරය කරනා සාමාන්‍ය මිනිසෙකි. බොබ් ද එවැනි ම ගැහැනියක සොයමින් සිටි බැව් මම දැන් දනිමි. එනිසා අපට අප ගැන විවේචනයක් නැත.

– නෝර්මා ග්‍රෝව් ගේ අත්දැකීමකි.

Cover Photo: pxhere.com/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි