×

මනාලියට 10 යි – මනාලයාට 22 යි.

දිනකට ලොව පුරා ළමා විවාහ 37,000 ක්. නූතන ආසියාව තුළ වඩාත්ම සාකච්ඡා වෙමින් පවතින කාරණයක් බවට මෙය පත්ව තිබේ.


ඉරානයේ සිදුව ඇති ළමා විවාහයක වීඩියෝවක් සමාජ ජාල වෙත මුදා හැරීමත් සමග විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ.

එම වීඩියෝවේ දැක්වෙන්නේ වයස අවුරුදු 10 ක කුඩා දැරියක් වයස 22 ක පිරිමියෙකු විසින් විවාහ කර ගන්නා අවස්ථාවකි. විවාහෝත්සවය සිදුකර තිබෙන්නේ ඉරානයේ බහ්මි පළාතේ ය.

මේ සමගම ඉරානය තුළ ළමා විවාහවලට එරෙහිව මේ වන විට දැඩි සමාජ ප්‍රතිරෝධයක් හටගෙන ඇත.

අදාළ වීඩියෝව ද අන්තර්ජාලයට මුදා හැරීමට කටයුතු කර ඇත්තේ ඉරානයේ සමාජ ක්‍රියාකාරිනියක වන මසීහ් අලින්ජාද් විසිනි. ‘‘ඉරාන පාලනය විසින් ඇත්ත වශයෙන්ම මේ දේවල් අපට කරමින් සිටින බව පෙන්වාදීමට මට අවශ්‍ය වුණා. මේ විඩියෝව මගින් ලෝකයේම අවධානය දිනා ගැනීමට මම අදහස් කළා.‘‘ යැය ඇය පවසා තිබේ.

එය අතිශයින් සාර්ථක වූ අතර, ඉරාන සමාජය තුළින්ම ළමා විවාහවලට දැඩි විරෝධයක් ගෙන ඒමට මෙය හේතු විය.

‘‘මෙහි දැකගත හැකි සිත් කම්පා වන දෙය නම් මනාලියගේ මුහුණේ ඇති සතුටයි. සිදුවෙන්නට යන දෙය ගැන ඇයට කිසිම අදහසක් නැහැ. ඇය හිතනවා ඇති ඇය අල්ලපු ගෙදර පිරිමි ළමයත් එක්ක කාඩ් සෙල්ලම් කරන්න යනව කියලා.. ලැජ්ජයි..“

එසේ පවසන්නේ ඉරානයේ ට්විටර් පරිශීලකයෙකි.

මේ අතර ඉරානයේම තවත් ට්විටර් පරිශීලකයෙක් කියා සිටියේ ‘ළමා විවාහ‘ යනුවෙන් මේ තත්වයේ ඇති කැත බව සඟවන්නට උත්සාහ කරන නමුත් යෙදිය යුතු සැබෑ වචනය ළමා විවාහ නොව ‘ළමා ස්ත්‍රී දූෂණය‘ යන්න බවයි.

බාල වයස්කාර/ළමා විවාහ පිළිබඳ කාටූන ද මේ ඇසුරෙන් නිර්මාණය විය.

කෙසේ නමුත් ළමා විවාහ මර්දනය කරනු වෙනුවට ඉරාන බලධාරීන් වහාම කළේ මේ සම්බන්ධ වීඩියෝ සහ තොරතුරු අන්තර්ජාලයට එක් කළ අයට විරුද්ධව පියවර ගැනීමයි.

‘‘මේ ගැන දැනුවත්භාවය ඇති කරන විට රජය අපට සලකන්නේ අපරාධකරුවන්ට වගේ..‘‘ යැයි ඉරාන ක්‍රියාකාරිනී මසී අලින්ජාද් පවසයි.

වයස අවුරුදු 13 දී විවාපත් වන ඉරාන දැරියෝ

ඉරානයේදී ගැහැණු දරුවෙකුගේ විවාහ විය හැකි අවම වයස අවුරුදු 13 කි.

ඒ බව අර්ථ නිරූපණය කරන්නේ ඉරානයේ ෂරියා නීතිය විසිනි.

නමුත් මුස්ලිම් අධිකරණවල විනිසුරන්ගේ කැමැත්ත සහ පියාගේ අනුමැතිය මත ඊට වඩා අඩු වයසකදී වුවද ගැහැණු දරුවන් ව විවාහ කර දීමට පුළුවන.

එවැනි අවස්ථා රාශියක් ඉරානයෙන් වාර්තා වේ.

2018 මාර්තු මාසයේ සිට මේ දක්වා ඉරානය තුළ වයස අවුරුදු 18 ට අඩු විවාහ 150,000 ක් ලියාපදිංචි වී ඇත. ඒ අතරින් විවාහ 43,000 ක් සිදුව තිබෙන්නේ වයස අවුරුදු 10-15 ත් අතර දැරියන් සමග ය. ඒ බව හෙළි කරන්නේ ඉරානයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල දත්ත සහ ඉරාන පාර්ලිමේන්තුවේ මාධ්‍ය කාර්යාලය විසිනි.

තවද ග්‍රාමීය ප්‍රදේශවල කිසිදු ලියාපදිංචියකින් තොරව ළමා විවාහ දහස් ගණනක් සිදුවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති.

ඔවුන්ගෙන් විශාල සංඛ්‍යාවක් අයත් වන්නේ සාමාජිකයන් බොහෝ ගණනක් සිටින දුප්පත් පවුල්වලට ය. නිවසක් හෝ මුදල් වෙනුවෙන් දැරියන් හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් ලෙස ද ඉරානය තුළ ළමා විවාහ සැලකේ.

ඉරානය තුළ පමණක් නොව නයිජර් රාජ්‍යය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනීසියාව, යනාදී තවත් ආසියාතික රටවල් ගණනාවක ද ළමා විවාහ සමාජ අර්බුදයක් දක්වා මේ වන විට ව්‍යාප්ත වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දිනකට ළමා විවාහ (වයස 18 ට අඩු) 37,000 ක් පමණ ලොව පුරා සිදු වේ.

මේ අතර ඉරාන පාර්ලිමේන්තුවට ළමා විවාහ වැළැක්වීමේ යෝජනා කිහිපයක්ම ප්‍රගතිශීලීන් විසින් ඉදිරිපත් කර තිබේ. ඒවා ‘ඉස්ලාමීය නීතිය හා සමාජ සම්මතයන්ට‘ එරෙහි බව කියමින් සෑම විටකදීම ඉවතලනු ලැබීය. නමුත් මේ වයස 10 ක් වන කුඩා දැරියගේ විවාහයේ තතු අන්තර්ජාලයට මුදා හැරීමත් සමග ඉරානය මේ ගැන නැවත සලකා බැලීමට සූදානම් වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි