×

‘‘පැය 3 යි – සති අන්තවල විතරයි!‘‘- චීනය ළමුන්ගේ ඔන්ලයින් වීඩියෝ ගේම්ස්වලට වැට බඳියි

ලෝකයේ දැවැන්ත ඔන්ලයින් ගේමිං වෙළඳපොළක් සහිත චීනය, ළමුන්ගේ ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කිරීම් සීමා කිරීමට දැඩි තීරණයක් ගෙන ඇත.


ඒ අනුව වයස අවුරුදු 18 ට අඩු අයට චීනය තුළ ඔන්ලයින් වීඩියෝ ගේම්ස් සෙල්ලම් කළ හැක්කේ සති අන්තවල පමණි. සතියේ දිනවල එසේ කිරීම තහනම් අතර, සති අන්තවලද එහි නියැළෙන මුළු කාලය පැය 3කට සීමා විය යුතුය.

චීනයේ මේ සම්බන්ධව වරින් වර විවිධ සීමාවන් හඳුන්වා දී ඇත. අවසන් වරට එසේ හඳුන්වා දුන්නේ 2019 වසරේදී ය. එහිදී සතියේ දිනවල දී පැය එකහමාරක් සහ, සති අන්තවලදී පැය 3 ක් ලෙස එයට අවසර ලබා දී තිබිණි.

බලධාරීන් අවධාරණය කරන්නේ යොවුන් පරපුර වීඩියෝ ගේමිංවලට ඇබ්බැහි වීම වළක්වා ගන්නට මේ තීරණය ගත් බවයි. නව පාසල් වාරය ද මෙයට සමාන්තරව ආරම්භ වීම මෙයට බලපා ඇති තවත් හේතුවකි.

මේ තීරණයත් සමග NetEase (NTES) සහ Tencent (TCEHY) වැනි, ඇමරිකානු කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කර ඇති චීනයට ඔන්ලයින් ගේමිං සේවා සපයන සමාගම්වල කොටස් මිල ද පහළ වැටී තිබේ.

මේ අතර, විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය චීනය විසින් දැන් මාස කිහිපයක පටන් සිදුකරන, පුද්ගලික ව්‍යාපාර අධෛර්යමත් කිරීමේ ක්‍රියාදාමයේම තවත් පියවරක් බවයි.

කෙසේ නමුත් චීන දෙමාපියන් මේ තීරණය ගැන සතුට පළ කරන්නේ, සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙම අන්තර්ජාල ඇබ්බැහිය නිසා බොහෝ දුරට අඩාල වී ඇති බව පෙන්වා දෙමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි