×

චීනය තායිවාන් සමුද්‍ර සන්ධියේ තෙදින යුද අභ්‍යාසයක් අරඹයි

එක්සත් ජනපදය තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වන නමුත් ජාත්‍යන්තර වශයෙන් දිවයිනේ විශාලතම ආධාරකරුවා වේ.


එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති හා තායිවාන ජනාධිපති සායි ඉන්ග්-වෙන් බීජිංහි අවවාද කිරීම ප්‍රතික්ෂප කරමින් කැලිෆොනියාවේදී හමුවීම හේතුවෙන් බීජිං දින තුනක යුධ අභ්‍යාසයක් තායිවාන සමුද්‍ර සන්ධියේ ආරඹන බවට නිවේදනය කර ඇති බව වාර්තා වේ.

චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙය හඳුන්වා ඇතිතේ තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී බලවේගවලට සහ බාහිර බලවේගවල කුමන්ත්‍රණ වලට එරෙහිව ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ අභ්‍යාස සිදු කිරීම කලාපීය සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව බරපතල ලෙස හානි කර ඇති බවත්, තමන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර දිවයිනේ ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා සුදුසු ප්‍රතිචාරයක් දක්වන බවත්ය.


තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබුණේ අද(08)උදෑසන චීන ගුවන් යානා 42 ක් සහ නැව් අටක් සාමාන්‍යයෙන් දෙපාර්ශවය අතර නිල නොවන බෆරයක් ලෙස ක්‍රියා කරන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළ බවයි.

එක්සත් ජනපද විදේශ කටයුතු කමිටුවේ සභාපති මයිකල් මැකෝල්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද නීති සම්පාදකයින්ගේ දූත පිරිසක් මේ වන විට තායිවානයට ගොස් සිටින අතර ඔවුන් අද දහවල් දිවා ආහාරය වෙනුවෙන් ජනාධිපති සායි ඉන්ග්-වෙන් හමුවනු ඇත. එක්සත් ජනපදය තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වන නමුත් ජාත්‍යන්තර වශයෙන් දිවයිනේ විශාලතම ආධාරකරුවා වේ.

සශිකලා මධුෂාණී_

වැඩිදුර කියවීම් සඳහා : සායිගේ හා මැකාර්තිගේ හමුවට ෂීගෙන් දැඩි විරෝධය; තායිවානයට නැවතත් සම්බාධක පැනවේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි