×

‘මේ වසරේ චීනයේ අවම වශයෙන් Covid හේතුවෙන් මිලියන 1 ක් පමණ පුද්ගලයන් මිය යයි ‘- ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින්

එනමුත් බ්‍රිතාන්‍ය පදනම් කරගත් සෞඛ්‍ය දත්ත සමාගමක් වන Airfinity පුරෝකතනය කර ඇත්තේ කර ඇත්තේ Covid හේතුවෙන් චීනයේ සෑම දිනකම පුද්ගලයින් 9,000 ක් පමණ රෝගීන් මිය යන බවයි.


චීනයේ Covid-19 නිල මරණ වාර්තාවන් හෙළිදරවු නොකිරීම හේතුවෙන් එයින් සිදුවන සැබෑ බලපෑම පිළිබඳ නිවැරදි තක්සේරුවක් කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.


පසුගිය දෙසැම්බර් මස සිට මේ වන තෙක් Covid-19 නිල මරණ චීනය වාර්තා කර ඇත්තේ 22ක් වශයෙනි. එනමුත් බ්‍රිතාන්‍ය පදනම් කරගත් සෞඛ්‍ය දත්ත සමාගමක් වන Airfinity පුරෝකතනය කර ඇත්තේ කර ඇත්තේ Covid හේතුවෙන් චීනයේ සෑම දිනකම පුද්ගලයින් 9,000 ක් පමණ රෝගීන් මිය යන බවයි. එමෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් මේ සම්බන්ධයෙන් පුරෝකතන කර ඇත්තේ 2023 වසර තුළ චීනයේ අවම වශයෙන් Covid හේතුවෙන් මිලියන 1 ක් පමණ පුද්ගලයන් මියයනු ඇති බවයි.

චීනයේ වසර ගණනාවක් තිස්සේ පැවැති ශුන්‍ය Covid සීමාවන් හදිසියේ ඉවත් කිරීමෙන් පසු Covid ආසාදනවල තියුණු වැඩිවීමක් සිදු විය. නමුත් නව රෝගීන් රෝහල්ගත කිරීම, දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන්නන් පිළිබඳ තොරතුරු, නිල මරණ වැඩිහිටි මරණ ආදී කිසිදු තොරතුරක් චීනය අනාවරණය නොකරයි.

මේ වන විට Covid ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් වශයෙන් චීනය පවතින බැවින් ඒ පිළිබඳ නිවරැදි තොරතුරු ඉදිරි සෞඛ්‍ය ආරක්ෂණ වැඩ සටහන් වෙනුවෙන් අතිශය වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැඩිව අනාවරණය කර තිබේ. අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා අධ්‍යක්ෂ මයිකල් රයන් ප්‍රකාශ කර තිබුණේ තවමත් චීනය සම්බන්ධ සම්පූර්ණ දත්ත ඔවුන්ට නොලැබෙන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී Tedros Adhanom Ghebreyesus මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ රෝහල්ගත කිරීම් සහ මරණ පිළිබඳ වඩාත් වේගවත්, විස්තරාත්මක හා නිවරැදි දත්ත නිරන්තරයෙන් ඔවුන් චීනයෙන් ඉල්ලා සිටින බවයි.

මේ වන විට එක්සත් ජනපදය, ජපානය, ඉතාලිය ආදී රටවල් චීනයෙන් පැමිණෙන අමුත්තන්ට Covid-19 සෘණාත්මක පරීක්ෂණ අනිවාර්ය කර ඇත. මෙම තත්වය පිලිබඳව අදහස් දක්වමින් එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, චීනයේ Covid-19 පැතිර යාමට සාපේක්ෂව ඔවුන් විසින් එය හසුරවන ආකාරය පිළිබඳව තමා කනස්සල්ලට පත්වන බවයි.

ඊයේ(04) දිනය වන විට චීනයේ කැබිනට් මණ්ඩලය රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ඖෂධ බෙදා හැරීම වේගවත් කරන බවත්, වෛද්‍ය ආයතන හා සාත්තු නිවාස වෙනුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පවතින ඉල්ලුම සපුරාලන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි