×

චීනයත් කොරෝනා වෛරස් එන්නත් තරගයට – එන්නත නිපදවා තිබෙන්නේ චීන හමුදාව විසින්!

මෙයට දෙදිනකට පෙර ඇමරිකා එක්සත් ජනපදය විසින් කොරෝනා වෛරයට නිපදවූ එන්නතක් අත්හදා බැලීම ආරම්භ කළ අතර, අද දිනයේ වාර්තා වන්නේ චීනය ද එම අත්හදා බැලීම් ආරම්භ කරන බව ය.


මේ අනුව නිරෝගී මිනිසුන් 108 දෙනෙකු මෙම COVID-19 එන්නත අත්හදා බැලීම සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වීමට නියමිත ය.

108 සැලකෙන්නේ චීන ජ්‍යෝතිෂ්‍යය අනුව සුබ ඉලක්කමක් ලෙස ය.

නිරෝගී මිනිස් ශරීර තුළ මෙම වැක්සිනය අත්හදා බැලීම සිය පර්යේෂණවල ‘පළමු අදියර‘ බව ද චීනය පවසයි.

මාර්තු 16 සහ දෙසැම්බර් 31 අතර කාලය තුළ මෙම 108 දෙනා එන්නත් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

සායනික පරීක්ෂාවන් සඳහා චීන හමුදාව සමග හොංකොං අනුමැතිය ලත් කැන්සිනෝ බයොලාජික්ස් සමාගම එක්වීමට නියමිත ය.

මෙම එන්නත නිපදවා තිබෙන්නේ චීන මහජන හමුදාව (PLA)ට අනුබද්ධිත චීනයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ හමුදා ඇකඩමිය විසිනි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නිපදවූ කොරෝනා වෛරසයට එරෙහි වැක්සිනය නිපදවූයේ ඇමරිකානු බයෝටෙක් සමාගමක් වන මොඩර්නා සහ National Institute of Allergy and Infectious Diseases සමග එක්ව ය. එහි සායනික පරීක්ෂා පුද්ගලයන් 45 දෙනෙකු සඳහා පසුගියදා ආරම්භ විය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ, කොරෝනා මරණ 7000 ක් සිදුව ඇති මේ මොහොතේ, ලෝකයම කොරෝනා විරෝධී එන්නතක් සොයාගැනීමට ‘රේස් එකක‘ යෙදී සිටින මේ අවස්ථාවේදී මෙසේ සායනික පරීක්ෂා ආරම්භ වීම ප්‍රශස්ත කාරණාවක් වන නමුත්, 2021 වසර මැද භාගය වන තෙක් මෙම එන්නත් පූර්ණ වශයෙන් පරීක්ෂා කර රෝගයට ඔසුවක් ලෙස නිර්දේශ කිරීමට හැකියාවක් නොමැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි