×

වෙළඳ ගනුදෙනු පිළිබඳ ට්‍රම්ප් ගේ විවේචන වලට චීන විදෙස් ඇමති ගෙන් පිළිතුරක්!

"අපිට ගේම් ඔෆ් ත්‍රොන්ස් රඟ දක්වන්න අවශ්‍යතාවයක් නැහැ!"


චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන-ඇමරිකානු වෙළඳ ගිවිසුම් පිළිබඳ කළ විවේචන වලට ප්‍රතිචාර දක්වා ඇත. 

පසුගිය අඟහරුවාදා (24) දින ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං අමතා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජනපදය තවදුරටත් බීජිනයේ වෙළඳ ප්‍රතිපත්තීන් නොඉවසන බවත් වෙළඳ කටයුතු සම්බන්ධව චීනය සමඟ දුර්වල ගනුදෙනු පවත්වා ගැනීමට අවශ්‍ය නොමැති බවත් ය. 

මේ වන විට හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතුව ඇති අර්බුදය ද සිහිපත් කරමින් ට්‍රම්ප් පවසා සිටියේ හොංකොං නගරයේ විශාල විරෝධතා රැළි පාලනය කිරීම පිළිබඳ බීජිං ක්‍රියාකරන ආකාරය තුළින්ම චීනයේ නොහැකියාව පෙන්වමින් තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරියේදී චීනයේ කඩාවැටීමට හේතු වනු ඇති බවත් ය.  

ඊට පිළිතුරු වශයෙන් චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යි පවසා සිටියේ චීනයට ලොවක් ඉදිරියේ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ රඟ දැක්වීමට අවශ්‍යතාවක් නොමැති බවත්, තම ස්වෛරීභාවය පිළිබඳ අවතක්සේරුවට ලක් කිරීමෙන් වැළකී සිටින ලෙසත් ය. 

හොංකොං හි ගැටළුව ද ඇතුළුව තම රාජ්‍යයේ ස්වෛරීභාවයට අතපෙවීමෙන් වැළකී සිටින ලෙස වොෂිංටනයට දැනුම් දීමට කැමති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය. 

තම රාජ්‍යය පුහු තර්ජන තුළින් බිය වැද්දිය නොහැකි බවද වැන්ග් යි පවසා සිටි අතර, එය වෙළඳ ගිවිසුම් වලට ද අදාල බව සිහියේ තබා ගත යුතු බවට අවධාරණය කර සිටියේය. 

කෙසේ වෙතත්, ලොව විශාලතම ආර්ථිකයන් ද්විත්වයට උරුමකම් කියන චීනය හා ඇමරිකාව අතර ගැටුම් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත්, දෙපාර්ශවය අතර මෙන්ම ලොව සියළු පාර්ශව අතරත් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සහයෝගයෙන් කටයුතු කළ යුතු බවටත් ඒ මහතා සඳහන් කර සිටියේය.

එළඹෙන මස පැවැත්වීමට නියමිත වෙළඳ සාකච්ඡා ඉහල මට්ටමින් මෙන්ම ධනාත්මක ප්‍රතිඵල ලබා දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි