×

කොරෝනා මට්ටු කරන්න චීනයෙන් බෙහෙතක් – තවත් කඩවූ පොරොන්දුවක් ද?

චීනයේ වූහාන් නගරයෙන් මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ ම ජාත්‍යන්තර විද්‍යාඥ ප්‍රජාව තුළ තරඟයක් පැවතියේ අනෙකාට පෙර සාර්ථක ප්‍රතිජීවකයක් නිපදවා ගැනීම සඳහා ය.


චීන රසායනාගාරයක් තුළ නිපදවූ ඖෂධයක් මඟින් කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි වනු ඇති බවට එරට විද්‍යාඥයහු විශ්වාස කරති.

චීනයේ කීර්තියක් උසුලන පීකිං නම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පරීක්ෂා කරනු ලැබූ මෙම ඖෂධය මඟින් කොරෝනා ආසාදිත පුද්ගලයකු සුව කිරීම සඳහා ගතවන කාලය අවම වන්නේ පමණක් නොව වෛරසයට එරෙහි කෙටිකාලීන ප්‍රතිශක්තියක් ද ගොඩනැඟෙනු ඇති බවට පර්යේෂකයහු පවසති.

පීකිං විශ්ව විද්‍යාලයේ සෛල ජිනෝම අධ්‍යයන උසස් නවෝත්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සනී ෂී මහතා පවසා සිටි පරිදි මෙම ඖෂධය සතුන් යොදා සාර්ථකව අත්හදා බලා තිබේ.

වෛරසයට අදාළ උදාසීන කරන ලද ප්‍රතිදේහ ආසාදිත මීයන් වෙත ලබා දුන් විට වෛරස ප්‍රමාණය දින පහක් තුළ සාධක 2500 කින් අවම වූ බවට හෙතෙම පැවසීය.

ඒ අනුව මෙම ඖෂධයේ යම් චිකිත්සක බලපෑමත් තිබෙන බවට ඔහු අවධාරණය කරයි.

මෙම ඖෂධය නිපදවීම සඳහා මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ලබාගත් උදාසීන කරන ලද ප්‍රතිදේහ යොදාගෙන තිබෙන අතර, එම ප්‍රතිදේහ ලබා ගෙන තිබෙන්නේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 60 දෙනෙකු ගේ නියදියකිනි.

මෙම ඖෂධය පිළිබඳ පසුගිය ඉරිදා දින සෙල් නම් විද්‍යා සඟරාවේ පළවූ අධ්‍යයන වාර්තාවකට අනුව, අදාළ ප්‍රතිදේහ භාවිතා කිරීම තුළින් රෝගී තත්ත්වය “සුව” කිරීමට හැකි වන්නේ පමණක් නොව සුව වීමට ගතවන කාලයද ප්‍රමාණාත්මක ව කෙටි වෙයි.

මෙම ප්‍රතිදේහ හඳුනා ගැනීම සඳහා දිවා රූ නොබලා සිය කණ්ඩායම වෙහෙස වූ බවද සනී ෂී මහතා පවසා සිටියේය.

අපගේ විෂයය වන්නේ තනි සෛල ජිනෝම (ඒක ගුණ සෛලයක අඩංගු සමස්ත ඩීඑන්ඒ ප්‍රමාණය) අධ්‍යයනයයි. එය ප්‍රතිශක්ති විද්‍යාව හෝ වෛරස විද්‍යාව ට වඩා තරමක් වෙනස්. තනි සෛලයක ජිනෝමය ආශ්‍රයෙන් උදාසීනකරණය කරන ලද ප්‍රතිදේහයක් නිපදවා හැකි බව හෙලිදරව් වූ විට අප විශ්මයට පත්වූවා,

ෂී මහතා අවධාරණය කළේය.

ලොව පුරා මිලියන 4.8 ක ජනතාවක් කොරෝනා වෛරසය ආසාදනය වී 315,000 කට අධික පිරිසක් මරණයට පත්වූ මොහොතක, මෙම ඖෂධය මෙම වසරේ අගභාගයේදී භාවිතා කිරීමට සූදානම් විය යුතු බවද හෙතෙම පැවසීය.

මීට අමතරව, සායනික අත්හදා බැලීම් සඳහා සැලසුම් සකස් වෙමින් තිබෙන බවත්, චීනයේ සිද්ධීන් වාර්තා වීම අවම වී තිබෙන නිසා, ඕස්ට්‍රේලියාවේ සහ වෙනත් රට වල මිනිසුන් වෙත අත්හදා බැලීම් සඳහා මෙම ඖෂධය යොමුකිරීමට උනන්දු වන බවද ෂී මහතා පවසා සිටියේය.

අපගේ බලාපොරොත්තුව මෙම උදාසීනකරණය කරන ලද ප්‍රතිදේහ වසංගත තත්ත්වය නවතා දැමීමට විශේෂ වූ ඖෂධයක් වනු දැකීමයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය ආරම්භ වූ සමයේ පටන් මේ වන තුරු චීනයේ වෛරසය මර්දනය කිරීමට බලපෑමක් එල්ල කළ හැකි එන්නත් වර්ග 5ක් පමණ නිපදවෙමින් තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සියළු එන්නත් මිනිස් අත්හදා බැලීම් සඳහා යොමුකිරීමට සූදානම් ව පවතී.

චීනයේ වූහාන් නගරයෙන් මෙම වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ සමයේ ම ජාත්‍යන්තර විද්‍යාඥ ප්‍රජාව තුළ තරඟයක් පැවතියේ අනෙකාට පෙර සාර්ථක ප්‍රතිජීවකයක් නිපදවා ගැනීම සඳහා ය.

එහෙත් මේ වන තුරුත් නිශ්චිත වශයෙන් ම තහවුරු වූ විසඳුමක් ලබා ගැනීමට ලොව සමත් වී නැත.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියේ වෛරසයට එරෙහි එන්නතක් නිර්මාණය කිරීමට මාස 12 – 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එබැවින් ඉහත සොයාගැනීම ද තවත් එක් කඩවුණු පොරොන්දුවක් පමණක් ද යන පැණය අප හමුවේ දිග හැරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි