×

ලොව සරාඟිතම මිනිසා නොහොත් මාර්වල් සිහින කුමරා…Captain America!

සරාගී බවට නව අරුතක් එක්කරන ක්‍රිස් එවෑන්ස් කියන සංවේදී කතාව


ක්‍රිස්ටෝපර් රොබට් එවෑන්ස් එහෙමත් නැතිනම් ක්‍රිස් එවෑන්ස් 1981 ජූනි 13 වන දින උපත ලැබූ ඇමරිකානු රංඟන ශිල්පියෙකි. ඔහු 2000 වසරේ දී Opposite Sex වැනි රූපවාහිනී කතා මාලාවල චරිත සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 2001 වසරේ Not Another Teen චිත්‍රපටය ඇතුළුව යෞවන චිත්‍රපට කිහිපයක පෙනී සිටීමෙන් පසුව, Fantastic Four (2005) හි Marvel Comics චරිතාංගයයට පණ පෙවීමට සමත්කම් දැක්වූ මොහු සියලු ලොවවටා රසිකයන්ගේ සිත සොරා ගත්තේ Captain America නමින් ය.

ඡායාරූප; IWMBuzz

Captain America තම පළිහ පසෙකින් තබා නව ඔටුන්නක් හිසෙහි දැරීමට සමත් විය. People Magazine සඟරාවට අනුව ලොව සරාඟිතම මිනිසාගේ හිස් පළඳනාව ක්‍රිස් එවෑන්ස් ගේ හිසෙහි පළඳවා ඇත.
මිනිසුන්ගේ මනාපය සඳුදා රාත්‍රියේ පැවති ස්ටීවන් කොල්බර්ට්ගේ රාත්‍රී සංදර්ශනයෙන් සහ සඟරාවේ වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කරන ලදී. දශකයකට ආසන්න කාලයක් මාර්වල් ලොව සුවිසල් සුපිරි වීර චිත්‍රපටවල Captain America ලෙස රඟපෑ එවෑන්ස්ට මෙවැනි ස්ථානයක් ලබා දීම පුදුමයක් නොවේ. ඔහු කඩවසම් සරාඟී පෙනුමකට හිමිකම් කියන හරි අපූරු නිහතමානී මිනිසෙකි.

ඡායාරූප; People.com
ඡායාරූප; People.com
ඡායාරූප; People.com

“මගේ අම්මා ගොඩක් සතුටු වෙයි,”

එවෑන්ස් එම සඟරාවේ පිටු කවරය සඳහා කියා සිටියේය.

“ඇය මා කරන සෑම දෙයක් ගැනම ආඩම්බර වන නමුත් මෙය ඇයට සැබවින්ම පුරසාරම් දෙඩීමට හැකි දෙයක්” වනු ඇතැයි ද ඔහු සිනාමුසු මුහුණින් පවසා සිටියේ ය.

ඡායාරූප; Pinterest

ඔව්! ඕනෑම අම්මා කෙනෙක් තමන්ගේ දරුවා ජීවිතයේ දී ලබන ඕනෑම ජයග්‍රහනයක දී මුළු හදින්ම සංවේදී වන අතර එය ඇය ලද භාග්‍යයක් සේ සලකයි.

“මගේ පුතා තමයි පළවෙනියා, මගේ කොල්ලා තමා දක්ෂයා” කියලා මුලු ලෝකෙටම ඇහෙන්න කෑගහල කියන්න තරම් අම්මලාගේ හිත් හයියයි. එවන්ස්ගෙ අම්මත් අන්න ඒ වගේ!

එමෙන්ම යාළුවන්ගෙන් එල්ළ විය හැකි විහිළු තහළු පිළිබඳව ද ඔහු සිනාවෙන් පිළිතුරු දුන්නේය.

Fantastic Four චිත්‍රපටවල සුපිරි වීරයෙකු වූ Johnny Storm යන චරිතයට පණ පෙවීමේ කාර්‍යය සිදු කළ එවෑන්ස් 2011 වසරේ Captain America: The First Avenger චිත්‍රපටය නිකුත් වීමත් සමඟ ජනප්‍රිය වූ අතර ඔහුටම ආවේණික චරිතාංගයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට සමත් විය. එතනින් නොනැවතුනු ඔහු මෑත භාගයේ දී Netflix හි The Gray Man ඔස්සේ නවමු අත්දැකීමක් එක් කරමින් සිනමා තිරයට අලුත් මුහුණුවරක් ලබා දුන්නේ ය. එමෙන්ම Defending Jacob නම් ආන්දෝලනාත්මක අපරාධ විමර්ශන කෙටි කතාමාලාවේ තම දරුවා රැකගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම් ආදරණීය පියකු ගේ චරිතයට පණ පෙවීය.

People සඟරාව සමඟ ඔහු ප්‍රකාශ කළ දෑ බොහෝ ය.

ඡායාරූප; People.com
ඡායාරූප; People.com

විවාහය, පවුල යන සංකල්පයට ඔහු දක්වන අදහස පිළිබඳ කතා කිරීමේ දී, “විවාහය සහ පවුලක් කියන්නෙ මට අවශ්‍ය දෙයක්” යැයි ඔහු කියා සිටියේ ඕනෑම මනුස්සයෙක්ට හැඟෙන දැනෙන පරිදි සාමාන්‍ය ජීවිතයකට ඔහු ද හැඩ ගැසීමට ඉතාමත් කැමති බව අවධාරණය කරමිනි. විවාහ වී ලස්සන පවුලක් හදාගෙන චූටි දරු පැටව් කිහිප දෙනෙකු සමඟ සාමාන්‍ය දිවියක් ගත කරන්න එවෑන්ස් ආසාවෙන් බලා සිටින බවක් ඔහුගේ මෙම ප්‍රකාශය තුළින් අපට පෙනේ.

“ඔබට අවශ්‍ය සමහර දේවල් ඔබ වෙනුවෙන් හෝ මගේ පවුලේ අය සහ මගේ මිතුරන් සඳහා පමණි,” යනුවෙන් පැවසූ එවෑන්ස් තම පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමට බලාපොරොත්තු නොවන බව ද පවසා සිටියේ ය.

ඡායාරූප; People.com

තමා “ආදරයට ආදරය කරන” බවත්, ඉක්මනින් කඳුලු සලන සංවේදී සිතක හිමිකාරයෙකු බවත් එවෑන්ස් වරෙක පවසයි. එපමණක් නොව ඔහු ඇතුලාන්තයෙන්ම සංවේදී මනුස්සයෙක් බව ද, ජීවිතයේදී එන හැල හැප්පීම් වලට මුහුණ දිය හැකි අන්දම ද ඔහු තව දුරටත් විස්තරාත්මකව පවසා “එවෑන්ස් යනු කවුරුන්ද” යන්නට අරුතක් ලබා දීමට සමත් වෙයි.

40 වන වියෙහි පසුවන එවෑන්ස් කාර්‍යයබහුල ජීවිතයට අමතරව සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට උත්සාහ කරන බවත් බොස්ටන්හි පිහිටි නිවසේ සහ ඔහුගේ පවුලේ අය සමඟ හැකි තරම් කාලය ගත කිරීමට ආශා කරන බවත් වැඩි දුරටත් සාකච්ඡාවේ දී පවසා සිටියේ ය.

මොන නළුවා වුනත් ඔවුන් තමන්ගේ ජීවිතය නිදහස් කුරුල්ලෙකු මෙන් ගත කිරීමට බෙහෙවින් ආශා කරන බව සැබෑවකි. තමන්ගෙ පවුල, ගෙදර යන තමන්ගේම යන හැඟීම තියෙන තැන තරම් මනසට නිදහසක් එක් කරන තැනක් මේ මිහිපිට නොවනු ඇත.

ඔහු බොස්ටන් ගැන හරි උජාරුවෙන් කතා කළේ ය.

ඔහු එහි කාලගුණයට වගේම සෘතුවට ආදරේ බවත්, ඒ වගේම ක්‍රීඩා කරන්න එක් රොක් වී සිටින කණ්ඩායම් වලට ද ආදරේ බවත්, “මේ සියල්ලටම වඩා බොස්ටන්හි සරාගීම දේ… සමහරවිට අපේ විශ්ව විද්‍යාල වන්න පුළුවන්,” යැයි පවසයි.

ඔවුන්ට හොඳ පාසල් බොහෝමයක් තියෙන බවත් ඔවුන් අධ්‍යාපනයට මුල් තැන දෙන බවත් පවසන ක්‍රිස් ඇත්ත වශයෙන්ම සරාඟී වන්නේ ඒ දේවල් නේද යන්න අපට අඟවන්නට සමත් විය.

ඔහු “සරාඟී” යන වචනයට හරි අපූරු අරුතක් එක් කරමින් පවසා සිටියේ, එය ඔහු වයසට ගිහින් තරබාරු වී හම එල්ලා වැටුණු කලෙක “ආ…මට මෙහෙම හිටියා මතකයි” යැයි පැවසිය හැකි දෙයක් ලෙසයි.

ඡායාරූප; People.com

මීට අමතරව ඔහුට ඔහුගේම සහෝදරයෙක් සිටී. ඔහු නමින් ස්කොට් එවෑන්ස් ය. රංගන ශිල්පියකු වන ස්කොට් සහ ක්‍රිස් එවෑන්ස් ගේ ඇත්තේ ද මනා අවබෝධයකින් යුතු සුන්දර බැඳීමකි. ස්කොට් සමරිසි පුද්ගලයකු වන අතර, කුඩා කළ පටන් ඔහු සමඟ හැදී වැඩී තම බාල සොහොයුරා පිළිබඳ මනා අවබෝධයක් තිබෙන ක්‍රිස් එවෑන්ස් පැවසුවේ “සමාජයක් ලෙස අප සැරිසරන ලෝකයේ තත්ත්වයන්ට මුහුණ දීම ඇත්තෙන්ම වැදගත් යැයි මම සිතමි” යනුවෙනි. ඔහු එසේ සමරිසි අයිතීන් පිළිබඳව හඬ නැගූ අයෙකි.

ඡායාරූප;Entertainment Tonight

පිරිමියකු ගේ පෞරුෂත්වය සමාජය විසින් නිර්වචනය කර තිබෙන අන්දම අනුව, ඔහු දැඩි හිතක් තිබෙන, ජවසම්පන්න, සෑම දෙයක්ම විඳදරා සිටීමට හැකියාව තිබෙන, තම හැඟීම් නොපෙන්වන, අනෙකා සමඟ පොරබදන, දහඩිය හෙලන චරිතයකි. එහෙත් පිරිමියකු ගේ සංවේදීභාවය නිදහසේ ප්‍රකාශ කිරීමට සමාජය ඉඩ ලබා නොදෙයි. කාන්තාවක් පවා පුරුෂයකුට ආකර්ෂණය වන්නේ නම් ඒ ඔහුගේ දරදඬුභාවය මත නොව ඇතුළාන්තයේ සිටින සංවේදී පුද්ගලයා බියෙන් තොරව ප්‍රකාශනය වන්නේ නම් පමණි. කාන්තාවක් තම අනාගත සහකරුවා සොයා ගැනීමේ දී දරඳඩු මිනිසකුට ලං නොවේ; මන්දයත් ඔහුට ඇත්තේ සංවේදී හැඟීම් දනවන සිතක් නොවන බැවිනි. පුද්ගල සබඳතාවයකදී තම සහකරු හෝ සහකාරිය බලාපොරොත්තු වන ආදරය, ගෞරවය දිය හැකි සංවේදී සිතක් ඇති, තම හැඟීම් ප්‍රකාශ කිරීමට බිය නොවන අව්‍යාජභාවය සැබෑ පිරිමියකු ගේ පෞරුෂයයි. එය විෂමරිසි ආදරයට මෙන්ම සමරිසි ආදරයට ද වලංගු කරුණකි.

මෙකී නොකී සියලුම රූප සම්පත්තිය පමණක් නොව, හැඟීම් උපදවන සිතක් හිමි ක්‍රිස් එවෑන්ස් People සඟරාවට අනුව ලොව සරාඟිතම මිනිසා වීම අරුමයක් නොවේ.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි