×

නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකක සිදුවූ වෙඩි තැබීම්වලින් 40 ක් මරුට – 20කට බරපතළයි.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව ක්‍රිස්තියානි අන්තවාදය හිස ඔසවමින් තිබෙන්නේද?


නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලි දෙකක සිදුවු වෙඩි තැබීම්වලින් මේ දක්වා 40 දෙනෙක් මරණයට පත්ව තිබෙන අතර, තවත් 20 දෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන්, මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන් සිය දැඩි කණස්සල්ල පළකර ඇති අතර ඇය ඒවා හඳුන්වා දෙන්නේ රටෙහි ‘අඳුරුතම දිනයක්‘ ලෙස ය.

ප්‍රහාර සම්බන්ධයෙන් සැක පිට මේ වන විට පුරුෂයන් තිදෙනෙක් සහ එක් කාන්තාවක් පොලිස් භාරයේ පසුවෙති. කෙසේ නමුත් තවත් සැකකරුවන් නිදැල්ලේ පසුවන බව ද වාර්තා වේ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින එක් අයෙක් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසයි. එම සැකකරු ‘අන්තවාදී දක්ෂිණාංශික – ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙකු‘ බව ද ඔහු සඳහන් කර තිබේ.

ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි අල් නූර් පල්ලිය සහ ලින්වුඩ් හි පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියකි. මේ වන විට ලැබී තිබෙන මරණ සහ තුවාළකරුවන් ගණන බොහෝ සෙයින් අල් නූර් ප්‍රහාරය පිළිබදව වන අතර, ලින්වුඩ් ප්‍රහාරය පිළිබඳ තොරතුරු මේ වන විට තවදුරටත් ලැබෙමින් පවතියි.

REUTERS
REUTERS

මේ තත්වය තුළ මිය ගිය ගණන සහ තුවාළකරුවන්ගේ ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පැවසේ.

අල්නූර් ප්‍රහාරය ආරම්භ කර තිබෙන්නේ තුවක්කුකරුවන් යාඥා කාමරය වෙත කඩා වැදී එහි සිටි යාඥා කරන්නන් හට වෙඩි තැබීම මගිනි.

පොලිසිය පවසන්නේ වාහනවලට සවි කර තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇටවුම් ගණනාවක් ද නිෂ්ක්‍රිය කිරීමට තමන් කටයුතු කළ බවයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමත් එතන

වෙඩි තැබීම එල්ල වන අවස්ථාවේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමද දේව මෙහෙය සදහා සහභාගී වීමට පැමිණ සිටි අතර ඔවුන් කිසිවෙකුටත් වෙඩි ප්‍රහාරයෙන් හානි නොවී ඇති බව
බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

ප්‍රහාරයෙන් දිවි ගළවාගත් අයෙක්

පාසල්වලට දැඩි ආරක්ෂාව

මෙම සිදුවීමත් සමග ක්‍රයිස්ට්චර්ච් හි පාසල් වෙත දැඩි ආරක්ෂාවක් සැපයීමට නවසීලන්ත ආරක්ෂක අංශ යුහුසුළු වී සිටිති. පැපනුයි උසස් පාසල වෙත විශේෂ ආරක්ෂාවක් සපයා තිබේ.

ප්‍රදේශවාසීන් හට ද පිටතට නොයන ලෙස උපදෙස් ලබා දී තිබේ.

සජීවී ලෙස විකාශය කරලා!

එක් තුවක්කුකරුවෙකු විසින් තමන් සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළත් වීඩියෝවක් සජීවී ලෙස සමාජ ජාල හරහා විකාශය කර ඇති බව ද සඳහන් වේ. පොලිසිය මහජනයාගෙන් ඉල්ලීමක් කරන්නේ එබඳු වීඩියෝ සමාජ ජාල හරහා ෂෙයා නොකරන ලෙස ය.

ස්වයංක්‍රීය ගිනි අවි යොදාගෙන එම ප්‍රහාර සිදුකළ බව එම වීඩියෝවෙන් පෙනී යයි.

තමන් එම වීඩියෝව ෆේස්බුක් අන්තර්ගතයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව මේ අතර ෆේස්බුක් සමාගම කියා සිටියි. ඉන්ස්ටර්ග්‍රෑම්වලින් ද එම වීඩියෝව මේ වන විට ඉවත් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි