×

කාබනීකරණය වැළැක්වීම සඳහා විවිධ නගර උරදුන් ආකාරය COP 25 සැසියේදී දිග හැරෙයි!

කාබනීකරණය වැළැක්වීම සඳහා අපි උරදුන්නේ මෙහෙමයි....


ස්පාඥ්ඥයේ මැඩ්‍රිඩ් නගරයේ පවත්වන COP25 සැසිවාරයේ දෙවන දිනයේදී නිර්කාබනීකරණය සඳහා ඒ ඒ නගර වල කාර්යභාරයන් හා දේශගුණික විපර්යාස සෞඛ්‍යයට බලපාන අන්දම සාකච්ඡාවට බඳුන් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හරිතාගාර වායු විමෝචනය තුළ 70% ම වගකියන මෙකී නගර කාබනීකරණය වැළැක්වීම උදෙසා උරදුන් ආකාරය විදහා පාන ලද බවට වාර්තා වේ.

මෙහිදී මෙඩෙලින් නගරාධිපති ෆෙඩරිකෝ ගුටරෙස් පවසා සිටියේ ගෝලීය දේශගුණික ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමෙන් වැඩ කටයුතු ආරම්භ කිරීම වැදගත් බවයි. දේශපාලන, ආගමික ආදී බොහෝ වෙනස්කම් මත වැටසීමාවන් පනවා ගත්තද සැමට පොදු වායුගෝලය රැක ගැනීම අතිශයින් වැදගත් බවට ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් සෙවිල්හි නගරාධිපති ජුවාන් එස්පාදාස් සිහිපත් කරන ලද්දේ පළාත් පාලන ආයතන වලට දේශපාලන විපර්යාස වැනි සාමූහික අභියෝගයකට මුහුණ දීමට හා කැපවීමට සිය ජනතාවට ඒකරාශී කර ගැනීමට අවස්ථාව උදාවී ඇති බවය.

COP25 සමුළුව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය මට්ටමින් දියත් කළ සමීක්ෂණ වාර්තාවක් මඟින් දේශගුණික විපර්යාස හා බැඳුණු පරිසර අවදානම් තත්ත්ව මත වාර්ෂිකව මරණ මිලියන 12 කට වඩා සිදුවන බවට හෙලිදරව් කර තිබිණි. ඔවුන් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පැරිස් ගිවිස‍ුමේ පුරෝකථනය කළ ක්‍රියාමාර්ග වලට ප්‍රකාරව කටයුතු කරන ලද්දේ නම් වාර්ෂිකව මරණ මිලියනයකට වඩා වළක්වා ගැනීමට හැකියාව තිබූ බවයි.

මීට අමතරව දේශගුණික විපර්යාසයන් හි සෞඛ්‍ය අවදානම විසඳීම සඳහා බොහෝ ප්‍රාන්ත වලට අරමුදල් හිඟකම බරපතල ගැටළුවක්ව පවතින බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබිණි. මෙකී පාරිසරික අවදානම් තුළ ජීවිත අහිමිවීමේ අවදානමට බලපාන ප්‍රධාන සාධක දෙකක් ලෙස පිරිසිදු පානීය ජලය නොමැතිවීම හා රෝග ව්‍යාප්තිය ඉහල යාම එම සංවිධානය පෙන්වා දෙයි.

මීට අමතරව, 2019 වර්ෂයේ වාර්තාගත උෂ්ණත්වය පසුගිය දශකයක් පුරා පැවති වාර්තා සැසඳීමේදී ඉහල ගොස් ඇති බවත්, එම උෂ්ණත්වය ඉතිහාසය තුළ දෙවන හෝ තෙවන වරට වාර්තාගත වූ ඉහලම උෂ්ණත්වයක් බවට ලෝක කාලගුණ සංවිධානය (World Meteorological Organization: WMO) පෙන්වා දෙයි. ලොව දේශගුණය ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයන් තවමත් ප්‍රමාණවත් නොවන බවට එම සංවිධානය අනතුරු ඇඟවීය. ධ්‍රැවාසන්න කලාප වල හිම කඳු දියවෙමින් පවතින බවත්, තාප තරංග තීව්‍රතාවයෙන් හා සංඛ්‍යාතයෙන් වැඩිවීම තුළත් මෙම තත්ත්වය තවත් ව්‍යාකූල වෙමින් පවතින බවට එම සංවිධානයේ පෙටෙරි මහතා සමුළුව තුළ පෙන්වා දුන්නේය. මනුෂ්‍ය ක්‍රියාකාරකම් මත විමෝචනය වන හරිතාගාර වායු වල බලපෑම නිසා ගංවතුර, ලැව්ගිනි, කුණාටු මෙන්ම අහිතකර කාලගුණ තත්ව ඇතිවීමේ අවදානම ද ඉහල ගොස් ඇති බව හෙතෙම සඳහන් කළේය.

විවේචනයක්..

මෙම සැසියේදී විවේචනයක් ද ඉදිරිපත් ව තිබේ. මැඩ්‍රිඩ් නගරාධිපති හොසේ ලුයිස් මාටිනස්-අල්මේදා ඇමසන් වැසිවනාන්තරයට පෙර නොට්‍රෙ ඩාම් හි පිහිටා ඇති පැරීසි දෙව්මැඳුර ආරක්ෂා කර ගැනීමට කැමත්තේ යැයි සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශය ඇමරිකාවේ ඉන්දියානු ව්‍යාපාරයේ නියෝජිතයකු වන මාරියෝ අග්‍රේඩා විසින් විවේචනයට බඳුන් විය. ඔහුගේ තර්කය වූයේ දෙව්මැඳුරකට වඩා වැසිවනාන්තරයක් ආරක්ෂා කර ගැනීම බෙහෙවින් වැදගත් බවත්, දෙවියන් ඇදහීමටත් අප හුස්ම ගෙන සිටි යුතු බවත්, මෙය සුළුපටුව තැකිය නොහැක්කේ මෙම ව්‍යසනයට කුඩා දරුවන්ටද වන්දි ගෙවීමට සිදුවන බැවින් බවත් ය.

නොට්‍රෙ ඩාම් හි පැරීසි දෙව්මැඳුර ආරක්ෂා කර ගැනීම පිළිබඳ අල්මේදා ගේ ප්‍රකාශය පසුගිය සැප්තැම්බර් මස ප්‍රංශ රූපවාහිනී නාලිකාවක විකාශය වී තිබිණි.

සිය විවේචනය සුභවාදීව ගන්නා මෙන් හා වැරදි ලෙස නොගන්නා මෙන් ද අග්‍රේඩා මැඩ්‍රිඩ් නගරාධිපතිවරයා හට අවධාරණය කර සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි