×

දෑස් දැල්වූවාට තුති: දේශගුණික අරගලය අභියස යුග දෙකක සොඳුරු හමුව

දේශගුණික අරගලය මැද මඳකට නැවතී සිදුවූ ඒ යුග දෙකක සංවාදය ඇසුවන් දුටුවන් සිත් සංවේදී කළේය.


පුංචි ග්‍රේටා තන්බර්ග් දැන් ලොව කා අතරත් ජනප්‍රියයි.

ඈ දේශගුණික විපර්යාසයන් හමුවේ ලොවක් අවදි කිරීමට සමත් වූ දිරිය දියණියකි.

තවමත් පාසල් වියේ පසුවන දහසය හැවිරිදි ග්‍රේටා මෙම වසරේ ටයිම් සඟරාවේ ලාබාලතම වසරේ පුද්ගලයා ලෙස පිදුම් ලැබීය.

ජාති, කුල, වර්ණ භේදයෙන් තොර මානව වර්ගයා වන අප සැවොම දේශගුණික උවදුරු ඉදිරියේ අසරණයි.

සොබාදහමට එරෙහි වන්නේ කෙදිනද, අපට දඬුවම් උරුම වනු නොඅනුමානය. ඒ අධිකරණයෙන් නොව සොබාදහිමින්ම ය.

ඩේවිඩ් ඇට්න්බොරෝ යනු කීර්තිමත් බ්‍රිතාන්‍ය වැඩසටහන් නිවේදකයෙකි. එමෙන්ම පරිසරවේදියෙකි.

පෘථිවියේ ශාක හා සතුන් පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහන් මාලාවක් වූ ද ලයිෆ් කලෙක්ෂන් නම් බීබීසී වැඩසටහනේ ප්‍රධාන කතෘ හා නිවේදක ඔහුය.

ඔහු සොබාදහම, ශාක හා සත්ව ලෝකය පිළිබඳ පමණක් නොව, සොබාදහමේ සමතුලිතතාවය, පෘථිවිය, එහි ජීවය, දේශගුණික විපර්යාසයන් හා සොබාදහමට හානි පමුණුවන මානව ක්‍රියාකාරකම් පිළිබඳ බොහෝ කලක පටන් වාචික වූ චරිතයකි.

සොබාදහම පිළිබඳ හසල බුද්ධියක් ඇති ඩේවිඩ් ඇට්න්බොරෝ දේශගුණික විපර්යාස අරගලයේ නායකත්වය ගත් චරිතයක් කිවහොත් වඩා නිවැරදිය. ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන් හරහා අධිවාචනය අතින් ඔහු ලොවට කළ සේවාව අතිමහත් ය.

ඇට්න්බොරෝ අනූ තුන් වන වියේ පසුවෙයි.

ඇට්න්බොරෝ ගෙන් යුග තුන හතරකට පසු කල එලි බසින පුංචි ග්‍රේටා තන්බර්ග් දියණිය පළමු වරට මේ දේශගුණික අධිවාචන දැවැන්තයා මුණ ගැසෙන්නේ ස්කයිප් ඇමතුමකිනි.

ඒ ඊයේ (30) දිනයේදී ය.

ඒ ඇමතුම හරහා හුවමාරු වූ වදන් පෙළ කාගෙත් සිත් බැඳ ගැනීමට සමත් විය.

පුංචි ග්‍රේටා බීබීසී රේඩියෝ 4 ටුඩේ වැඩසටහනට සම්බන්ධ වූ මොහොතක ඈට මෙම ස්කයිප් සංවාදය ලබා ගැනීමට හැකියාව ලැබිණි.

දේශගුණික උවදුරු පිළිබඳව ඇට්න්බොරෝ වසර ගණනාවක් මුළුල්ලේ නැඟූ හඬ ප්‍රශංසාවට ලක්කළ පුංචි ග්‍රේටා ඇට්න්බොරෝ ගේ සොබාදහම පිළිබඳ වැඩසටහන් තමා හට ආදර්ශයක් වූ බවට සැල කර සිටියාය.

තවමත් පාසල් වියේ පසුවන මේ පුංචි දියණිය ගේ ධාරිතාව ඇගයීමට ඇට්න්බොරෝ අමතක නොකළේය.

දේශගුණික අරගලය මැද මඳකට නැවතී සිදුවූ ඒ යුග දෙකක සංවාදය ඇසුවන් දුටුවන් සිත් සංවේදී කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි