×

තව වසර 30 කින් මානව ශිෂ්ටාචාරය වඳ වේ!

මානව ශිෂ්ටාචාරය වසර 2050 දී අවසන් වීමේ විශාල අවදානමක් ඇති බව සනාථ වී තිබේ.


බුද්ධිමතුන්ගේ සංචිතයක් වන ඔස්ට්‍රේලියාවේ Breakthrough National Centre for Climate Restoration විසින් එළිදැක්වූ වාර්තාවක් මෙයට දින කිහිපයකට පෙර හෙළි කර සිටියේ එහි ඇති බරපතළ තත්වයයි. එම බරපතළ තත්වයේ තර්කානුකූල භාවයයි.

එම වාර්තාවේ හැඳින්වීමේ මෙසේ දැක්වේ.

‘‘මිහිමත මිනිස් ජීවිතය වඩාත්ම භයානක ආකාරයෙන් (in the most horrible way) තුරන් වී යාමට නියමිත ය.“

මානව ශිෂ්ටාචාරය අතු ගා දමන්නේ කුමක් විසින්ද?

climate change එසේත් නැතිනම් දේශගුණික විපර්යාසය මේ වන විට මානව ශිෂ්ටාචාරය අතරමගදී අවසන් කර දමන බවට ද එම වාර්තාව පැහැදිලි කර දෙයි.

කොරල් පර දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම සඳහා හැකි පමණ වෑයම් කරමින් සිටියි.

දේශගුණික විපර්යාස විසින් සිදුකරනු ලබන විපරිතයන් විසින් පෘථිවියට ඇති කරන දැවැන්තම බලපෑම වන්නේ ආහාර සහ ජලය විෂ සහිත වීමයි.

මෙය, අනතුරුව සමාජ ආර්ථික අසමතුලිතතා ලෝකය පුරා ඇති කරන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනු ඇත. ඉදිරි දශක 3 ඇතුළත පුපුරා යාමට නියමිත ව තිබෙන්නේ මේ ඛේදවාචකයයි.

මිහිතලය බේරාගැනීමට අපට තව ඉතිරිව තිබෙන්නේ වසර 30 යි යනුවෙන් මානවයාගේ ඇස් ඇරවන මෙම පර්යේෂණයේ කර්තෘවරයා වන්නේ David Spratt හෙවත් Breakthrough හි පර්යේෂණ අධ්‍යක්ෂවරයා සහ Ian Dunlopය. ඉයන් ඩන්ලොප් යනු, 
Royal Dutch Shell සමාගමෙහි කලක් සේවය කළ අන්තර්ජාතික කීර්තියක් ලද තෙල්, වායු සහ ගල්අඟුරු කර්මාන්තය පිළිබඳ ක්‍රියාකාරියෙකි. ඔස්ට්‍රේලියානු ගල්අඟුරු සංගමයේ සභාපතිවරයා වශයෙන් ද සේවය කර ඇති ඔහු, මිහිතලය උණුසුම් වීමේ දුර්විපාක අප බොහෝ දෙනෙකුට වඩා සංවේදී ලෙස දැන සිටින අයෙකි.

කොතරම් කිව්වත්…

මිහිතලය උණුසුම් වීම, හරිතාගාර වායු විමෝචනය වැනි දේ ගැන කොතරම් කීවත් අප අතරින් බොහෝ දෙනෙකුට පාරිසරික වෙනස්කම් යනු තවමත් අසංවේදී මාතෘකාවකි. මෙම පර්යේෂණය පැහැදිලිවම පෙන්වා දෙන්නේ හරිතාගාර වායු විමෝචනය අඩු කර ගැනීමට ගෝලීය වශයෙන් මානවයා දක්වන අසමත් කම විසින් මේ මහා විනාශය සිදුකිරීම ඉක්මන් කර ඇති බවයි. වසර 2030 වන විට ලෝකයේ හරිතාගාර වායු විමෝචනය උපරිමයක් බවට පත්වනු ඇති බව ද පර්යේෂකයෝ මෙහිදී අවධාරණය කරති.

මේ අන්දමින් මිහිතලය දිගින් දිගටම රත් වන විට අප නොදැනුවත්වම වසර 2050 වෙත අප ළඟාවනවා ඇත. එහිදී ලොව පුරා පරිසර හිතකාමීන් නැවත නැවතත් කියා සිටින, අංශක 3 කින් ගෝලීය උණුසුම ඉහළ යාම නමැති නපුරු සිහිනය සැබෑවක් වනු ඇත. එය එසේ වුවහොත්, ඇත්තෙන්ම අප ඒ වන විට ප්‍රමාද වැඩි ය.

hothouse Earth

ඒ වන විට අපට ඉතිරි වනු ඇත්තේ සාමාන්‍ය පෘථිවි ගෝලයක් නොවේ. එවිට අපට ඉතිරිවන මිහිතලයට විද්‍යාඥයෝ අලුත් යෙදුමක් පාවිච්චි කරති. ඒ නම් ‘හොට්හවුස් අර්ත්‘ යන්නයි. එහි අරුත, පෘථිවිය ‘තාප නිවස්නයක්‘ බවට පත්ව තිබෙනු ඇති බවයි.

එහි ලක්ෂණ මොනවාද?

  • සාගර අයිස් මහා පරිමාණයෙන් දියවී යාම
  • දූපත් රාජ්‍යයන් සොයාගත නොහැකි ලෙස ජලයෙන් යට වී යාම (මාලදිවයින මේ අතරින් ප්‍රධාන ය)
  • සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම
  • මුහුදු ජල මට්ටම් අති සීඝ්‍රයෙන් ඉහළ යාම
  • නිත්‍ය තුහින නොහොත් permafrost අයිස් දිය වී යාම – නිත්‍ය තුහින යනු පෘථිවි පරිසර පද්ධතියේ අතිශය වැදගත් කොටසකි. නිත්‍ය තුහින යනු, සදාකාලිකව හිමට යටවූ පස් ය. ආක්ටික්, ඇන්ටාක්ටික් සහ ඇල්පයින් පෙදෙස්වල ඇති මෙම පස්, හිම මිදෙන ශීතලට ද වඩා සිසිල් ය. මේවා ද මහා පරිමාණයෙන් දිය වී යාමට පටන් ගනු ඇත.
  • ඇමසන් කලාපයේ උග්‍ර නියඟය සහ ඇමසන් වනය මිය යාම – ඇමසන් වනය හඳුන්වන අන්වර්ථ නාමය වන්නේ ‘ලෝකයේ පෙණහැල්ල‘ යි. එයට හේතුව, පෘථිවිය මත ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් වායුවෙන් 80%ක්ම නිපදවන්නේ ඇමසන් වනය ආශ්‍රිතව වීමයි. එහි තුරුලතා බිලියන 360 ක් තිබේ.
ඇමසන් වනය නොහොත් ලෝකයේ පෙණහැල්ල
ගෝලී්‍ය උණුසුම වැඩි වීමත් සමග Permafrost හෙවත් නිත්‍ය තුහින දියවී යාමේ ප්‍රතිඵලය මෙයයි…

භූ ගෝලීය වශයෙන් ලෝකය උඩු යටිකුරු වන හැටි

කෙටියෙන් මෙසේ ය.

  • ආසියානු සහ බටහිර අප්‍රිකානු මෝසම් වර්ෂා රටාව සම්පූර්ණයෙන්ම විකෘති වනු ඇත.
  • ගල්ෆ් දියවැල් මන්දගාමී වනු ඇත.
  • උතුරු ඇමරිකාව අත්‍යන්ත කාලගුණික තත්වයන්ට මුහුණ දෙනු ඇත. උදා – ලැව් ගිනි, තාප තරංග, නියඟය සහ ජල ගැලීම්.
  • චීනයට ගිම්හාන මෝසම් වැසි නතර වනු ඇත.
  • ආසියාවේ මහා ගංගා සිඳී යනු ඇත. මෙයට විශාල වශයෙන් හේතු වන්නේ හිමාලය කඳුවැටියේ අයිස් වැස්මෙන් 1/3 ක් දියවී යාමයි.
  • ඇන්ඩීස් කඳුකරය ආශ්‍රිතව පිහිටා තිබෙන ග්ලැසියරවලින් 70%ක් දියවී අවසන් වනු ඇත.
  • මෙක්සිකෝවට සහ මධ්‍යම ඇමරිකාවට ලැබෙන වර්ෂාපතනය 50%කින් අඩු වනු ඇත.

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගියහොත් සිදුවන දේ

එය වටහා ගැනීමට අපහසු නැත. විද්‍යාඥයෝ මෙසේ කියති.

‘‘ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගියත්, ලෝකයේ බිලියන භාගයක ජනතාවට අලුත් ස්ථානවල පදිංචි වන්නට සිදු වෙනවා. සිදුවන්නට නියමිත විනාශය සිතාගන්නටවත් බැහැ..“

පැරිස් සම්මුතිය වෑයම් කරන්නේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 3 කින් ඉහළ යාම නතර කර ගන්නට ය. නමුත් හරිතාගාර ආචරණයට දායක වන ලෝකයේ ලොකුම කාබන් ඩයොක්සයිඩ් විමෝචකයා වන ඇමරිකා එක්සත් ජනපදය දැනටමත් තමන් පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව පවසා ඇත. මේ පර්යේෂණ වාර්තාව ඉඟි කර සිටින්නේ සෙල්සියස් අංශක 3නොව අංශක 2 පවා අතිශය භයානක අගයක් ගන්නා බවයි. සැබවින්ම ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 කින් වසර 2050 වන විට ඉහළ යාමට නියමිත බවත්, එහිදී මානව ශිෂ්ටාචාරය මිහිමතින් අතු ගෑවී යන්නට නියමිත බවත් එනිසා ඔවුහු නැවත නැවතත් අවධාරණය කරති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි