×

පරිසර විනාශය ට එරෙහි වූ 90 දශකයේ ඕෂන් ගර්ල් වැනි ළමා කතා යලි විකාශය විය යුතුයි

අද මිත්‍යාව කරපින්නා ගෙන සිටින අප නූතන දරු පරපුරට ලබා දෙන්නේ කොපමණ වැරදි ආදර්ශයක් ද? විද්‍යාව හා තාක්ෂණය වූවද ටෙලිවෘතාන්තයක ආකාරයෙන් රසවත් අන්දමින් පෙන්වීමට එදා මෙන් අද අප සමාජය අසමත් වී තිබෙන්නේ ඇයි?


කොරෝනා වසංගතයත් එක්ක බොහෝ දෙනෙකුට දේශගුණ විපර්යාස අරගලය අමතක වූ බවක් පෙනෙන්නට තිබෙනවා.

කොවිඩ් උණුසුම මතුවෙන්න කලින් මාධ්‍යයේ කතා කළ ජාත්‍යන්තරයට ගිය පුංචි කෙල්ල ග්‍රේටා තුන්බර්ග් මතක ද? දේශගුණ අරගලය අලුත්ම මානයකට රැගෙන ඒමට ඇගේ අප්‍රතිහත ධෛර්යය ඉවහල් වූ ආකාරය, ඈ ඉදිරියේ ලෝක නායකයින් පවා දණින් වැටුණු අයුරු මතකද?

ඒ අතරේ සිඟිති පාතාල මවමින් ප්‍රචණ්ඩත්වය හුවා දක්වමින් ආතල් ගත්ත අපේ තරුණයින් මතකද?

ගොලීය පරිසර අර්බුදය විහිළුවක් නෙවෙයි. නාසා ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මිලියනයකට අංශු 415 (415ppm) කින් ඉහළ ගොස් තිබෙනවා; ගෝලීය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2කින් (2.0°F) ඉහළ ගොස් තිබෙනවා; ආක්ටික් සාගරයේ අයිස් තට්ටු සියයට 13.1 කින් දියවෙමින් පවතිනවා; මුළුමහත් පෘථිවියේ අයිස් තට්ටු වසරකට මෙට්‍රික් ටොන් බිලියන 428 දිය වෙමින් පවතිනවා; මුහුදු මට්ටම වසරකට මිලිමීටර 3.3 කින් ඉහළ යමින් තිබෙනවා.

මේ වත්මන් සංඛ්‍යා දත්ත. මේවා ඉදිරියට තව කොහොම වෙනස් වේවිද? අප මේ දුවමින් සිටින්නේ මහා විනාශයක් දෙසට නොවේද?

ගෝලීය දේශගුණික විපර්යාසයන් ට එරෙහිව කෘෂිකර්මාන්තය ඇතුළු සියළු ක්ෂේත්‍ර කඩිනමින් ස්ථාවර කර ගත යුතු බවට නවසීලන්තයේ විද්වතුන් අනතුරු අඟවා ඇති බවට ලන්ඩන් ගාඩියන් වෙබ්අඩවිය පෙන්වා දෙනවා.

මෙම කතිකා හුදෙක් වැඩිහිටියන් ට පමණක් සීමා කරන්න පුළුවන් ද?

මම විශ්වාස කරන්නේ ගෝලීය අර්බුද පිළිබඳව සංවේදී ළමා පරපුරක් බිහිකිරීම වැඩිහිටි අප කාගේත් වගකීම බවයි. එය පාසල් අධ්‍යාපන මට්ටමින් ද ඔබ්බට විෂයානුබද්ධ නිර්මාණ – ක්‍රියාකාරකම් තුළින් ඇති කළ යුතු බවයි මගේ අදහස..

අපේ තරුණ අවධියේදී රූපවාහිනියේ විකාශය වූ ඕස්ට්‍රේලියානු විද්‍යා ප්‍රබන්ධ ළමා කතා මගේ සිහියට එනවා. “ඕෂන් ගර්ල්” ඔබට මතකද?

පිය උණුසුම අහිමි වූ පුතුන් දෙදෙනෙකු ද රැගෙන සමුදුරු ජීවය අධ්‍යයනයට මුහුදු පත්ලේ පර්යේෂණ මධ්‍යස්ථානයකට පැමිණෙන සාගර ජීවවිද්‍යාඥවරියක වන ඩයෑන් හට එම මධ්‍යස්ථානයේ නිලධාරීවාදයට හා පුරුශාධිපත්‍යයට ද මුහුණ දීමට සිදුවෙයි. ඒ අතර ජේසන් සහ බ්‍රෙට්, ඇගේ පුතු දෙපළ, අද්විතීය සොයා ගැනීමක් සිදුකරනවා. ඔවුන් දෙදෙනාට හමුවන්නේ නෙරී. ඈ ඕස්ට්‍රේලියානු මහද්වීපය අසබඩ තිබෙන පුංචි දූපතක තනියම ජීවත් වන ගැහැණු දරුවෙක්. සමස්ත ඕෂන් ගර්ල් වෘතාන්තය ම නිමවී තිබෙන්නේ ඇය වටා.

ධනය, බලය හා දේශපාලනය හමුවේ සාගරයට හා සාගර ජීවයට සිදුකිරීම ට යන මහා විපතකට එරෙහිව සටන් වැදීමට මේ දරුවන් කැළ සමත් වනවා. ඔවුනට උදව් කිරීමට ඔවුන් ගේ විශ්වාසය බෙදා ගැනීමට සූදානම් වැඩිහිටියන් පිරිසක් ද ඉදිරිපත් වනවා. එතනින් ද නොනැවතී මිනිස් ක්‍රියාකාරකම් නිසා හටගන්නා දාමප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවීමට යන මහා විනාශයකින් ලෝකය බේරා ගැනීමට ද මේ දරුකැළ සමත් වනවා.

විද්‍යා ප්‍රබන්ධ ඇසුරෙන් නිමවූ වැඩසටහන් රාශියක් 90 දශකයේ දී රුපවාහිනියේ විකාශය වූවා. එවන් වැඩසටහන් අද කෝ?

අද මිත්‍යාව කරපින්නා ගෙන සිටින අප නූතන දරු පරපුරට ලබා දෙන්නේ කොපමණ වැරදි ආදර්ශයක් ද? විද්‍යාව හා තාක්ෂණය වූවද ටෙලිවෘතාන්තයක ආකාරයෙන් රසවත් අන්දමින් පෙන්වීමට එදා මෙන් අද අප සමාජය අසමත් වී තිබෙන්නේ ඇයි?

අර පරසුද්දා ගේ දේවල් අපිට එපා අපේ දේ අපිට වටී යැයි තර්ක කරන උදවියගේ මානයෙන් ම බැලුවොත් – අපේ රටේම එවන් කතාමාලාවන් නිර්මාණය නොවන්නේ ඇයි? කුඩා දරුවන් වඩාත් ප්‍රියකරන වික්‍රමාන්විත, ගවේෂණ, අභිරහස්, විද්‍යාව හා තාක්ෂණය ආදී මාදිලීන් මුසු කොට ටෙලිවෘතාන්ත, රූපවාහිනී වැඩසටහන්, කලා කෘති නිර්මාණය කිරීමට අප අසමත් වී තිබෙන්නේ ඇයි?

පරිසරය ආරක්ෂා කර ගන්න, ගහකොළ සතා සිව්පාවුන් ට ආදරය කරන්න, වායු දූෂණය අවම කරන්න, නයිට්‍රජන්, කාබන් ආදී චක්‍ර පවත්වා ගන්න, හරිතාගාර ආචරණය පිළිබඳව දැනුවත් කරන්න, එපමණක් නොව මුලුමහත් පෘථිවිය ටම බලපාන දේශගුණික විපර්යාස ගැන දොඩමළු වන දරු පරපුරක් නිර්මාණය කිරීම හා ගෝලීය ඉලක්කයක් වශයෙන් අනාගත පෘථිවිය රැක ගන්න දරු පරපුර පෙළගැස්වීම හුදෙක් NGO ඉලක්කයක් පමණක් ද? ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයාට අනුව නම් එහෙමලු.

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි