×

සයිබර් වාරණයට එරෙහිව ‘දේශසීමා රහිත වාර්තාකරුවෝ‘ (RSF) ඉදිරියට: ඡායා වෙබ්අඩවි (mirror sites) ගණන 22 ක් දක්වා ඉහළට

මාර්තු 12 දිනට යෙදී තිබූ ‘සයිබර් වාරණයට එරෙහි ලෝක දිනය‘ වෙනුවෙන් දේශසීමා රහිත වාර්තාකරුවෝ (RSF) සංවිධානයේ මූලිකත්වයෙන් අවහිර කර තිබූ වෙබ් අඩවි 22 කට විකල්ප ප්‍රවේශ ලබාදීම මේ වනවිට සිදුකර තිබේ. ඒ, මේ වසරේ වෙබ් අඩවි 3 ක් අවහිර කිරීමෙන් මුදවා ගැනීමත් සමග ය.


මේ අනුව මෙම වෙබ් අඩවි 22 සඳහා ලොව පුරා අන්තර්ජාල පරිශීලකයන් මිලියන ගණනකට නැවත අවහිරයකින් තොරව පිවිසිය හැකි වනු ඇත.

මාධ්‍ය නිදහස, ප්‍රවෘත්ති නිදහස, තොරතුරු නිදහස සහ අන්තර්ජාල නිදහස සම්බන්ධයෙන් ලද අති දැවැන්ත ජයග්‍රහණයක් වන මෙය, RSF විසින් 2015 වසරේ පටන් සිදුකරනු ලබන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. #CollateralFreedom යනුවෙන් මෙම ගෝලීය ව්‍යාපෘතිය හැඳින්වේ. මේ ගතවන්නේ #CollateralFreedom හි පස්වන වර්ෂයයි.

මෙහිදී දේශසීමා රහිත වාර්තාකරුවෝ සංවිධානය විසින් සිදුකරන්නේ එකී අවහිරයට ලක් කර ඇති වෙබ් අඩවිවල ඡායා වෙබ් අඩවි (මිරර් සයිට්ස්) පිළියෙළ කිරීමයි. මේ අනුව යම් රටක් තුළ යම් වෙබ් අඩවියක් අවහිර කර තිබුණද, ඕනෑම රටක අන්තර්ජාල පහසුකම් සහිත ග්‍රාහකයන්/පරිශීලකයන් වෙත අවහිරයකින් තොරව ඡායා අඩවිය වෙත පිවිසිය හැකි වේ.

මේ වන විට මේ පහසුකම RSF විසින් රටවල් 12 ක් සඳහා ලබාදී ඇත.

එම රටවල් අතරට චීනය, සෞදි අරාබිය, ඉරානය සහ වියට්නාමය ද අයත් වේ. මෙම රටවල් බලධාරීන් විසින් දැඩි මාධ්‍ය මර්දනයකට ලක් කරන රටවල් ලෙස ප්‍රකට ය.

උදාහරණයක් වශයෙන් සෞදි අරාබියේ ALQST (Advocating for Human Rights) වෙබ් අඩවියට පිවිසීමේ අවස්ථාව ලොව පුරා පරිශීලකයන්ට නැවත ලැබී ඇත. සෞදි අරාබියේ මානව හිමිකම් උල්ලංඝනයන් අධීක්ෂණය කිරීම, පුවත් අප්ඩේට්ස් ලබාදීම සහ වාර්තාකරණය සම්බන්ධයෙන් ඔවුහු කීර්තියක් උසුළති. ‘‘අපි අති දැවැන්ත දුෂ්කරතාවලට මුහුණ දුන්නා..“ යැයි මෙම වෙබ්අඩවියේ සේවය කරන, ඒ නිසාම ලන්ඩනයේ පිටුවහල් ජීවිතයක් ගත කිරීමට සිදුව ඇති සෞදි මාධ්‍යවේදී යහායා අස්සිරි පවසයි. ‘‘සෞදි බලධාරීන් ක්‍රමානුකූල විදිහට අපව නිහඬ කිරීමට වෑයම් කරනවා.“ ඔහු පවසන්නේ තමන් පිටුපස ඔත්තු සේවාවන් යොදවා තිබූ බව සහ, ජංගම දුරකථනය ටැප් කර තිබූ බව ය. කෙසේ නමුත් RSF හි මෙම මිරර් සයිට් ක්‍රමය හරහා නැවත වරක් ලෝකය පුරා ග්‍රාහකයන් වෙත සමීප වීමට ඔවුන්ට අවස්ථාව ලැබී තිබේ.

2014 වසරේ ඇල්බට් ලොන්ඩ්‍රෙස් මාධ්‍යවේදී සම්මානය දිනූ, පැරිසියේ පිටුවහල් ජීවිතයක් ගත කරන තහා සිද්දිකි විසින් බිහි කළ පාකිස්ථානයේ Safenewsrooms.org වෙබ් අඩවිය ද මෙම ව්‍යාපෘතිය යටතේ ඡායා වෙබ් අඩවියක් ලෙස නැවත පණ ගන්වා තිබේ. පාකිස්ථානය මාධ්‍යවේදීන්ට දරුණු ප්‍රහාර එල්ල වන රටකි. එය ලෝක පුවත්පත් නිදහස පිළිබඳ දර්ශකයේ 139 වැනි ස්ථානය වාර්තා කරයි. 2018 මැයි මාසයේ මෙම වෙබ් අඩවිය දියත් කර සති කිහිපයකට පසුව එය පාකිස්ථානය තුළ අවහිර කිරීම සිදුවිය.

මේ වසරේ ඡායා වෙබ් අඩවියක් බවට පත්වූ තෙවැනි වෙබ් අඩවිය වන්නේ China Digital Times ය. මෙය ඉංග්‍රීසි සහ චීන යන භාෂා දෙකෙන්ම පළ වන අතර, චීනයේ සැබෑ තත්වය පිළිබඳ වාර්තා කරමින් සිටියි. කැලිෆෝනියාවේ තොරතුරු විද්‍යාලයේ Counter-Power Lab ද මෙම වෙබ් අඩවියට තාක්ෂණික සහයෝගය පළ කරයි.

RSF විසින් වෙබ් අඩවිවලට ප්‍රවේශය ලබාදීමේ මෙම ක්‍රමය හඳුන්වන්නේ Collateral Freedom හෙවත් ‘සමපාර්ශවික නිදහස“ යනුවෙනි. මෙමගින් මුල් වෙබ් අඩවියේ අන්තර්ගතය යාවත්කාලීන වන හැම අවස්ථාවකදීම එයට සමාන්තර ලෙස නිරතුරුවම ඡායා වෙබ් අඩවිය ද යාවත්කාලීන කෙරේ. මේවා host කිරීම සිදුකරනු ලබන්නේ ලොව ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ සහයෝගයෙනි. Fastly, Amazon හෝ OVH වැනි ආයතනවල සහාය ඒ සඳහා යොදා ගැනේ. මෙකී අන්තර්ජාල දැවැන්තයන්ව හොස්ටිංවලින් ඉවත් කිරීම, අදාළ මර්දනකාරී රටවල රෙජීමයන්ට පහසු නොවන්නේ, එසේ කරන්නේ නම් එම දැවැන්තයන්ව සම්පූර්ණයෙන්ම එම රටවල සේවා සැපයුම්වලින් ඉවත් කිරීමට සිදුවන නිසා ය. එය එසේ වුවහොත් එමගින් එම රටවල ආර්ථිකයකට තදබල හානියක් සිදුවනු ඇත. මෙම ක්‍රියාන්විතය Operation Collateral Freedom යනුවෙන් නම් කර තිබෙන්නේ ඒ නිසා ය.

මෙම ආයතන විසින් මිරර් සයිට්ස් හෙවත් ඡායා අඩවි හොස්ට් කිරීම සඳහා කිසිදු මුදලක් අය නොකරන බව ද RSF සඳහන් කරයි.

#CollateralFreedom හෑෂ්ටැගය ඔස්සේ, ලෝකයේ අන්තර්ජාල නිදහස සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ මෙම ව්‍යායාමයට සහාය පළ කිරීමට ඔබට ද පුළුවන.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි