×

COP25 – 25 වන ජගත් සංවිධාන පරිසර සමුළුව මැඩ්රිඩ් හිදී ඇරඹේ – ගුටරෙස්ගෙන් අනතුරු ඇඟවීම්

COP25 යනුවෙන් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 25 වන පරිසර සමුළුව අද දින ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේදී ආරම්භ විය.


පුරා සති 2 ක් මුළුල්ලේ මෙය පැවත්වෙන්නේ ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් (Antonio Guterres) ගේ ප්‍රධානත්වයෙනි.

‘‘අපේ මිහිතලය ආපසු හැරීමක් නැති තැනකට ඇවිත් තිබෙනවා.‘‘ යනුවෙන් එහිදී ජගත් සංවිධාන මහලේකම්වරයා දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඔහු තවදුරටත් කියා සිටියේ මිහිතලය රැක ගැනීම සහ දේශගුණික වෙනස්කම් සමග සටන් කිරීම සඳහා ලෝකය විසින් ගෙන ඇති පරිශ්‍රමයන් ‘අතිශයින්ම ප්‍රමාණවත් නැති‘ (“utterly inadequate”) බවයි.

විද්‍යාත්මක සහ තාක්ෂණික දැනුම ගෝලීය උණුසුම්වීම සීමා කිරීමට යොදාගත හැකි නමුත්, ප්‍රතිපත්ති සකසන්නන් විසින් ‘ගෝලීය දේශගුණික හදිසි තත්වයන්‘ (“global climate emergency”) කෙරෙහි දක්වන ඇල්මැරුණු ආකල්පය ජගත් සංවිධාන ප්‍රධානියාගේ දෝෂ දර්ශනයට ලක් විය.

climate emergency – දේශගුණික හදිසි තත්වය පිළිබඳ මෙතැනින් කියවන්න..

‘‘බලාපොරොත්තුවේ සංඥාවන් දෙගුණ තෙගුණ වෙමින් තිබෙනවා. මහජන මතය හැම පැත්තෙන්ම අවදි වෙමින් තිබෙනවා. බාල පරපුර සුවිශේෂී නායකත්වයක් සහ සචලත්වයක් පෙන්වමින් සිටිනවා.

‘‘නගර, මූල්‍ය ආයතන සහ ව්‍යාපාර අංශක 1.5කින් ගෝලීය උණුසුම අඩු කිරීමට වැඩි වැඩියෙන් කැප වෙමින් තිබෙනවා… අඩු වී තිබෙන්නේ දේශපාලන කැමැත්ත (political will) යි… ‘‘ යැයි ද එහිදී ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අවධාරණයෙන් කීය.

මේ වන විට දේශගුණික විපර්යාසවලින් වැඩිපුරම බැටකන රටවල් ඇතුළු රටවල් 70 ක් පමණ වසර 2050 වන විට හරිතාගාර වායුන් විමෝචනය අවම කර ගැනීමට ප්‍රතිඥා දී තිබේ. නමුත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ ලොකුම හරිතාගාත වායු විමෝචකයන් කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් තවම අවධානය යොමු කර නැත.

පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණික සංවිධානය (UN’s World Meteorological Organisation) ප්‍රකාශ කළේ හරිතාගාර වායූන් ඉතිහාසයේ එදා මෙදාතුර ඉහළම අගයට ළඟා වී ඇති බවයි.

කියවන්න – වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් මට්ටම වසර මිලියන 3කට පසු දරුණුම අගයේ

ලබන වසරේ ග්ලාස්ගොව් හි 26 වන ජගත් පරිසර සමුළුව හෙවත් COP26 පැවැත්වීමට පෙර, ශුද්ධ වශයෙන්ම හරිතාගාර වායු විමෝචනය ශුන්‍යයක් බවට පත් කර ගැනීම සඳහා අවසන් දිනයන් (ඩෙඩ්ලයින්ස්) නියම කර ගැනීම අවශ්‍ය බව ද ජගත් සංවිධානය ප්‍රධානියා අවධාරණය කළේය.

පැරිස් සම්මුතියෙන් වසර 4කට පසුවත් මේ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත් වී නොතිබීම මෙහිදී ජගත් සංවිධාන නායකයා දැඩි සේ හෙළා දුටවේය. මෙය 2015 පැරිස් සම්මුතියේ 6 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වේ. ‘‘අපි මෙතැනට ඇවිත් සිටින්නේ 6 වන වගන්තියට පිළිතුරු සෙවීමට මිසක් නිදහසට කරුණු කීමට නෙවෙයි‘‘ යනුවෙන් ද ඔහු පැවසුවේය.

පැරිස් සම්මුතියේදී ලබාදී තිබූ වසර 5 ක සමා කාලය වසර 2020 න් අවසන් වීම ද විශේෂත්වයකි.ඉන් අනතුරුව හරිතාගාර වායු විමෝචනය පිළිබඳ ප්‍රතිඥා ඉටු නොකිරීම සහ ගිවිසුම්ගත නොවීම වෙනුවෙන් අන්තර්ජාතික වශයෙන් පීඩනයන්ට පත් වීමට රාජ්‍යයන්ට සිදුවනු ඇති.

ඇමරිකාවත් සමුළුවේ

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකා එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ජගත් සංවිධාන පරිසර සමුළුව වන්නේ මෙයයි.

ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් මෙවර සමුළුවට අන්තර්ජාතික පාරිසරික ගැටළු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් මාෂියා බර්නිකැට් (Marcia Bernicat) සහභාගි වන අතර, ඇමරිකා එක්සත් ජනපද කථානායිකා නැන්සි පෙලොසි ද ඩිමොක්‍රටික් පක්ෂ දේශපාලඥයන් කණ්ඩායමක් සමග මෙම සමුළුවට සහභාගි වේ.

මොකක්ද මේ COP25?

COP25 යනුවෙන් මෙය හැඳින්වෙන්නේ ජගත් සංවිධානයේ 25 වැනි ගෝලීය පරිසර සමුළුව මෙය වන හෙයිනි. 2015 පැරිස් සම්මුතිය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වේ. COP25 ට අමතරව,
CMP15 (Kyoto Protocol)
CMA2 (Paris Agreement)

යන නම් වලින් ද මෙය හැඳින්වේ. United Nations Framework Convention on Climate Change (UNFCCC) හෙවත් ජගත් සංවිධානයේ දේශගුණික විපර්යාස පිළිබඳ වැඩරාමු සම්මුතිය යටතේ පාර්ශවකරුවන් වනන රටවල් 200කට අධික පිරිසක නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වේ. හරිතාගාර වායු විමෝචනය පිළිබඳ නව අන්තර්ජාතික රීති හඳුන්වා දීම සහ ගෝලීය උණුසුමෙන් දැනටමත් පීඩාවට පත්ව ඇති දුප්පත් රටවල් සඳහා වන්දි ක්‍රමයක් හඳුන්වාදීම මෙවර සමුළුවේ අරමුණු අතර වේ.

මෙම සමුළුව සංවිධානය කරන්නේ ස්පාඤ්ඤය සහ චිලී රාජ්‍යය විසිනි.

රාජ්‍ය නායකයන් 50 දෙනෙක්, විද්‍යාඥයන් සහ පරිසර ක්‍රියාකාරීන් ඇතුළු 29,000 ක පමණ පිරිසක් මේ සමුළුවට සහභාගි වේ. මුලින් මෙම සමුළුව චිලී රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ව තිබූ නමුත්, රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලේ බලපෑම නිසා ආරක්ෂක හේතූන් මත ස්පාඤ්ඤයේදී මෙය පැවැත්වීමට තීරණය විය.

යොවුන් පරිසර වීරවරියක ලෙස සැලකෙන ග්‍රේටා තුන්බර්ග් (Greta Thunberg) මේ වන විට කැටමැරන් යාත්‍රාවක නැගී අත්ලන්තික් සාගරය තරණයේ අවසන් භාගයට පැමිණ තිබෙන්නේ හෙට දිනයේ ලිස්බන් නගරයෙන් ගොඩබැස සමුළුවට සහභාගි වීම සඳහා ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි