×

COP26: දණක් ජලේ බැස ගිලුණු රට හොයන තුවාලු රාජ්‍යය!

‘‘තුවාලු‘‘ (Tuvalu), ඉදිරි කාලයේදී ජලයෙන් සම්පූර්ණයෙන්ම යට වීමට නියමිත ව තිබෙන දූපත් රාජ්‍යයන්ගෙන් එකකි.


එහි විදේශ ඇමතිවරයා වන සයිමන් කොෆේ, මේ දිනවල පැවැත්වෙන COP26 පාරිසරික සමුළුව අමතන්නේ මේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයට දණක් ජලේ බැසගෙන ය. විනෝදයට නොවේ. තුවාලු රාජ්‍යය මේ අන්දමින්, වේගයෙන් ජලයෙන් යට වෙමින් තිබේ.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ මේ ඡායාරූපය අපට කියා දෙන්නේ ලෝකයේ සිව්වැනියට දුප්පත්ම රාජ්‍යය, දේශගුණික විපර්යාසවලින් ද මුලින්ම බැට කෑමට නියමිත බවයි. කොරල්පර දූපත් තුනක් සහ හිරිගල් දිවයින් හයකට වඩා දෙයක් ඔවුන්ට නැත. මේ ඔවුන්ගේ හඬ ය.

‘‘නරකම තත්වයක් ආවොත්, ඒ කියන්නෙ මුළු රටම ජලයෙන් යට වුණොත්, අපිට ලෝකයේ වෙනත් තැනකට යන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපේ සාගර කලාපයේ හිමිකාරිත්වය නැවත ලබාගැනීමට තිබෙන නීතිමය මාර්ග අපි මේ දිනවල සලකා බලමින් සිටිනවා. රාජ්‍යයක් වශයෙන් අන්තර්ජාතික නීතිය යටතේ රාජ්‍යයත්වය නැවත ලබාගැනීමට අපට එහෙම වුණොත් සිද්ධ වේවි…‘‘

ජගත් සංවිධානයේ COP26 සමුලුවේදී දෝංකාර දුන් මේ වදන් අපට කියා දෙන්නේ කුමක්ද? මේ දූපත් රාජ්‍යය සහමුලින්ම ජලයෙන් යට වී තිබේ. විදේශ ඇමතිට කොට කලිසමක් ඇඳ, ජාතික කොඩිය දියේ සවිකර ලෝකය ඇමතීමට සිදුව තිබේ. භූමිය අතුරුදන් වෙමින් තිබේ. සාගරය විසින් භූමිය අතුරුදන් කරමින් තිබේ. අවසානයේ අතුරුදන්වන භූමියේ අයිතිය යළි ලබාගන්නේ කෙසේද කියා නීතියේ පිහිට පැතීම ගැනත් දැන්මම සිතන්නට ඔවුන්ට සිදු ව තිබේ.

රටවැසියන් මේ තත්වය දරාගන්නේ කෙසේදැයි විදේශ අමැති කොෆේගෙන් විමසනු ලැබිණි. එවිට ඔහු මෙසේ කීවේය.

‘‘පැරැන්නො භූමියත් එක්කම ගිලිල යන්න ලෑස්තියි.. අනික් අය රටෙන් යනවා..!‘‘
Tthey are happy to go down with the land, while others are leaving!’

කඳු නැති රටක්

තුවාලු රාජ්‍යයේ කඳු නොමැති තරම් ය. එහි උසම ස්ථානයේ උස මීටර 4.5 ක් හෙවත් අඩි 15 ක් පමණි. ඒ මදිවාට 1993 වසරේ සිට මේ දක්වා කාලය තුළ සාගර ජල මට්ටම වසරකට අඟල් දශම දෙකක් බැගින් ඉහළ යමින් තිබේ. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ යැයි ඔබට සිතේ නම් රටේ ප්‍රබලම නායකයන් කොට කලිසමට බස්සවා ජලයට බැස්සවූ සාගරයේ ගිල ගැනීම සහිත ඡායාරූපය දෙස නැවත බලන්න. ලංකාව ද දූපත් බවත් ඒ අතරම මතක් කර ගන්න..!

ලෝකයේ 4 වැනියට දුප්පත්ම රට

තුවාලු දරුවෝ

දකුණු දිග පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන, ගිනි කඳු බහුල කොදෙව්වක් වන තුවාලු, කොරල් පර දූපත් තුනක සහ ජලයෙන් වටවූ හිරිගල් දූපත් 6 ක එකතුවකි. ලෝකයේ 4 වැනුවට දුප්පත්ම රට වන්නේ තුවාලු රාජ්‍යයයි. එහි ජනගහනය 11,500 ක් පමණි. මේ කුඩා දිවයිනට තිබෙන්නේ තනිකරම යැපුම් ආර්ථිකයකි. ඒ අනුව දුප්පත්කම මනින සාධකයක් ලෙසට ‘ආදායම‘ සැලකිය යුතු නම්, තුවාලු රාජ්‍යය තුළ ආදායම නිර්වචනය වන්නේ එයටම ආවේණික ක්‍රමයකිනි.

පුලාකා නමැති ආවේණික පලතුර වැවෙන බිම් පවා කරදියෙන් පෙඟී යාම නිසා ඔවුන්ට කෘෂිකර්ම ආර්ථිකයක් කියා දෙයක් නොමැති තරම් ය. පුලාකා ගසින් පොල් මද වැනි රසයක් සහිත පලතුරක් ලැබේ. ආහාර හිඟය ද මෙහි අති බහුල ය. පුලාකා මද සමග තැම්බූ මාලු, තුවාලු රස මසවුලක් බවට පත් ව තිබීමෙන් ඒ බව තේරුම් ගත හැකිය. ඔවුහු පුලාකාවලින් රොටී ද පුළුස්සති. ටාරෝ ලෙස හඳුන්වන හබරල වර්ගයේ කුඩා ගස ද ඔවුන්ට ආහාර ලබා දෙයි.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙසට මේ දූපතේ කුණාටු බහුල ය. පුලාකා ගස් සුණු විසුණු කර දැමීමට කුඩා කුණාටුවක් වුව සමත් ය.

මෙහි පසුබිමින් පෙනෙන්නේ පුලාකා ගස් ය. ඉදිරියේ තිබෙන්නේ ටාරෝ පඳුරු ය. මේවා තුවාලු හි ප්‍රධානම ආහාර බෝගය බවට පත්ව තිබේ.

ෆනාෆුටි අගනුවර තිබෙන එකම එක රෝහල සහ දුරස්ථ සායන දෙකක් පමණක් තිබීමෙන් තුවාලු රාජ්‍යයේ සෞඛ්‍ය පහසුකම්වල තත්වය ද ඔබ සිතාගත යුතුය.

මුහුදෙන් යට වෙමින් තිබෙන තරමට මුහුද ඔවුන්ට සමීප නිසා, ධීවර කර්මාන්තයෙන් තුවාලු රාජ්‍යය ගොඩදැමිය නොහැක්කේ මන්ද යැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් තුවාලු රාජ්‍යයේ ඕනෑම ධීවරයෙකුගෙන් ඇසුවහොත් ඔවුන් ඔබට, සාගරය ද මිය යමින් තිබෙන බවත්, එය තමන්ව ගිල ගන්නට බලා සිටිනා බවත් කියනු ඇත. දේශගුණික විපර්යාසය නිසා තුවාලු අවට මුහුද බෙහෙවින් රත් වී තිබේ. එහි ප්‍රතිඵලය ලෙසට කොරල්පර මිය යමින් තිබේ. තුවාලු මුහුදේ ජීවත් වන කොරල් මත්ස්‍යයන් තවදුරටත් කොරල් සැකිලි ස්‍රාවය කරන්නේ නැත.

‍තුවාලු කොරල්පර මිය යාමට තවත් එක් ප්‍රධාන හේතුවක් බවට පත් ව තිබෙන්නේ ඌරන්ගෙන් පිටවන අපද්‍රව්‍ය බව සොයාගෙන තිබේ. තුවාලු වෙරලබඩව ඌරු කොටු රැසක් ඇත. ඒවා සුද්ද පවිත්‍ර කිරීමේදී සූකර මළපහ මුහුදට ගසාගෙන යාමට ඉඩ හරියි. එය වළක්වා ගැනීමට තුවාලු රාජ්‍යය විසින් ෆීජි දූපත්වලින් ගෙන ආ ගනකම් තණකොළ වර්ගයක් මුහුදු වෙරළේ පැළ කිරීමට ගත් උත්සාහය ද එතරම් සාර්ථක නැත.

ලැබෙන මුදලින් වැඩි කොටස කෑම වේලට

තුවාලු ජනතාව හම්බ කරන මුදල්වලින් වැඩි කොටස වැය වන්නේ ඔවුන්ගේ කෑම වේලට ය. ආහාර හිඟවීමත් සමග ඒවා ගිනි ගණන්වලට විකිණීම සුලබ දෙයකි. ආහාර බෝග වගාවක් නොමැති කම නිසාම, පිටරටින් ගෙන එන ආහාර මත ඔවුහු යැපෙති. තුවාලු වැසියන් භාවිතා කරන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් ය. හැකියාවක් තිබේ නම් ඔස්ට්‍රේලියාව බලා ගොස් රැකියාවක් කර මුදල් හම්බ කර සිය පවුල්වලට එවීම තුවාලු වැසියන්ගේ සිහිනයයි.

දෙල් ගස් වවා දේශගුණික විපර්යාස සමග සටන් කරමුද?

තුවාලු රාජ්‍යය දේශගුණික විපර්යාසය සමග ගෙන යන සටනට රාජ්‍ය නොවන සංවිධාන බෙහෙවින් දායක වේ. වෙනස්වන කාලගුණික/දේශගුණික තත්වයන් සමග හැඩ ගැසෙන්නේ කෙසේද කියා ඔවුන්ට නව එළඹුමකින් යුතුව කියා දීමට සිදුව ඇත. උදාහරණයක් වශයෙන් අගනුවර කෘෂිකාර්මික බිම්වලට මුහුදු ජලය ගලා නොඒම පිණිස ‘අඩි කිහිපයක් උසින් පිහිටන පාත්ති ක්‍රම‘ ඔවුන් විසින් හඳුන්වා දී ඇත. දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පලතුරු ගස් වැවීම ගැන ද අවධානය යොමු ව තිබේ. ඒ අනුව පුලාකා ගසට වඩා කුණාටුවලට දෙල් ගස් ඔරොත්තු දෙන බව ඔවුන්ට කියා දී ඇත. දේශීය ආහාර රටාවක් ඇති කිරීම ද සිවිල් සංවිධානවල තවත් මාතෘකාවක් බවට පත් ව තිබේ.

තුවාලු රාජ්‍යය, දේශගුණික විපර්යාසයට බිලිවන ලෝකයේ පළමු රටක් බවට පත් වන බව දැන් පැහැදිලි ය. පෙනෙන්නට තිබෙන හැටියට තුවාලු රාජ්‍යය දැනටමත් ප්‍රමාද වැඩි ය. බාගවිට මාලදිවයින හෝ ලංකාව ද අනාගතයේ තුවාලු රාජ්‍යය බවට පත් වන්නට ඉඩ තිබේ. දේශපාලකයන්ට ජලයේ බැස පමණක් නොව ජලයේ පිහිනමින් වුවත් කතා කියන්නට පුළුවන. ලංකාවේ ද ගං වතුරේ දණක් බැස ඡන්ද දායකයන්ට කෙසෙල් ගෙඩි බෙදූ ඇමතිවරු සිටියහ. තුවාලු ඇමතිවරයා, පොළොව ගිලෙන හෙයින් මුහුදේ හතරමායිමක් රාජ්‍යය ලෙස පිළිගන්නා මං සොයමින් සිටීම එක් පසෙකින් උත්ප්‍රාසයකි.

මාලදිවයින සිය පළමු- දියයට කැබිනට් රැස්වීම පැවැත්වූයේ 2009 වසරේ ය. එහිදී කෝබන්හේගන් නුවර පැවැත්වූ ජගත් සංවිධාන පරිසර සමුළුවේදී මේ ධීවර ඇමතිවරයා ලෝකයෙන් ඉල්ලා සිටියේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය හැකිතාක් කපා හරින ලෙස ය. නමුත් එයින් වසර 12 ක් ඉක්මවා ගිය තැන දැන් තුවාලු ඇමතිවරයෙකු ද ජලයට බැස තිබේ. ලෝකයේ ලොකුම කාබන් විමෝචකයන් බවට ලෝකයේ ධනවත්ම රටවල් පත්වෙද්දී, ඔවුන් ඒ වෙනුවෙන් කිසිවක් කරන්නට අදිමදි කරද්දී, මෙවැනි දූපත් රාජ්‍යයන්ගේ මළගම ලියැවෙනු ඇත්තේ ද දිය යට ය.

Maldivian Minister of Fisheries and Agriculture Ibrahim Didi (AP Photo/Mohammed Seeneen)

අවසානයේ පය තබාගන්නට පොළොවක් නැති වන තුරුම බොහෝ දෙනෙකුට දේශගුණික විපර්යාසය යථාර්ථයක් බව නොවැටහේ.

‘‘පැරැන්නො භූමියත් එක්කම ගිලිල යන්න ලෑස්තියි.. අනික් අය රටෙන් යනවා..!‘‘

 

මූලාශ්‍ර: Evening Standard – COP26: Tuvalu looking at legal ways to be a state if it is submerged by rising seas

FIGHTING POVERTY IN TUVALU THROUGH COMMUNITY



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි