මේ වන විට ලොව පුරා කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 981,000 ක් ලෙස සටහන් වන්නේ 50,000 කට අධික මරණ සංඛ්‍යාවක ඛේදජනක ඉරණම සමග ය.
සෞදි අරාබියේ පිහිටා තිබෙන ඉස්ලාම් භක්තිකයන්ගේ වඩාත්ම පූජනීය ස්ථාන ද්විත්වය වන මක්කම සහ මදීනාවට ඇඳිරි නීතිය පැනවූ අතර, එය තවත් පැය 24 කින් දීර්ඝ කර තිබේ.
ඒ, සෞදි අරාබිය තුළ කොරෝනා ආසාදන සංඛ්‍යාව 1885 ලෙසත් මරණ ගණන 21 ක් ලෙසත් අද දිනය අවසන් වන විට සටහන් වීම හේතුවෙනි. එ් සමගම රාජ්‍යයන් 6 කින් සමන්විත ගල්ෆ් කලාපයේ වැඩිම කොරෝනා බලපෑම සහිත රට බවට සෞදි අරාබිය පත් වේ.
මේ වන විට ගමනාගමනයට දැඩි සීමා ද පනවා ඇති අතර, එම නීතිරීතිවලට අනුව, සෞදි අරාබි මහාමාර්ගවල මෝටර් රථයක් තුළ ගමන් ගත හැක්කේ එක් මගියෙකු හට පමණි.
සියලුම අන්තර්ජාතික ගුවන් සේවාවන් ද මේ වන විට සෞදිය විසින් නතර කර දමා තිබේ.
සෝමාලියාවෙන් බිහි වූ බලපෑම් සහගත නායකයෙකු ලෙස සැලකෙන, හිටපු අගමැති නූර් හසන් හුසේන් (Nur Hassan Hussein) කොවිඩ්-19 ට ගොදුරු වීමෙන් පසු ලන්ඩනයේදී මරණයට පත් විය.
ඔහු වෙනුවෙන් සෝමාලියාව විසින් දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
2007-2009 අතර කාලයේදී සෝමාලියාවේ අගමැති ධුරය හෙබවූ නූර් හසන් හුසේන් ‘නූර් අදේ‘ ලෙස ප්‍රකට ව සිටියේය. 1937 වසරේදී සෝමාලියාව ඉතාලි පාලනය යටතේ පවතිද්දී මොගඩිෂු නුවර උපත ලැබූ නූර් හසන්, පසුව 1960 වසරේදී සෝමාලියාව ඉතාලි පාලනයෙන් නිදහස ලැබූ පසු පොලිස් භටයෙකු ලෙසද, රතු අඩසඳ ව්‍යාපාරයේ ද, පසුකාලීනව ඉතාලි තානාපතිවරයා වශයෙන් ද සේවය කරමින් දේශපාලනයට පිවිසියේය.
දෛවයේ සරදම වූයේ ඔහු විසින් ලන්ඩනය සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවා දැමීම සඳහා තෝරාගෙන තිබීමයි. ඔහුගේ මරණය ලන්ඩනයේ රෝහලකදී සිදු වන්නේ එක්සත් රාජධානියේ 2,921 දෙනෙකු මරණයට පත් වී 33,718 ක් ආසාදනයට ලක්ව සිටියදී ය. යම් හෙයකින් ඔහු කොරෝනා වසංගතය ඔඩු දුවන විට සිය මව්රටේ සිටියේ නම් ඔහු රෝගයෙන් බේරීමට ද ඉඩක් තිබිණි. මන්ද යත්, මේ වන විට සෝමාලියාවේ කිසිම අයෙකු කොරෝනා හේතුවෙන් මිය ගොස් නැත. ආසාදිතයන් වාර්තා වන්නේ ද පස් දෙනෙකු පමණි.
ලෙබනනයේ සිටි පිලිපීන තානාපතිනී බර්නාඩිටා කැටල්ලා (Bernardita Catalla) කොවිඩ්-19 හේතුවෙන් මරණයට පත් වූ බව අද පිලිපීන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.
62 හැවිරිදි බර්නාඩිටා, ලෙබනනයේ සිටින පිලිපීන ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රබල හඬක් නැගූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස වසර 27 ක අත්දැකීම් සහිත ඇයගේ අහිමිවීම විශාල පාඩුවක් සහ කණගාටුවට කාරණයක් බව පිලිපීනය ප්‍රකාශ කරයි.
ඇය රෝගයට ගොදුරු වුයේ ද ලෙබනනයේ සිටින පිලිපීන ගෘහ සේවිකාවන්ට කොරෝනාවලට එරෙහිව සෞඛ්යාරක්ෂිත පහසුකම් සැපයීමේ සටනක යෙදී සිටියදී ය.
ඇගේ මැදිහත් වීම මත, මෙම ගෘහ සේවිකාවන්ගේ පිලිපීන පවුල්වලට ලෙබනන් පවුම් 400,000 ක බැගින් දීමනාවක් ලබාදීමට ද තීරණය වී තිබිණි.
ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක අලි ලැරිජානි මේ වන විට ස්වයං නිරෝධනයට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ය.
ඉරානයේ මෙම රෝගයට ගොදුරු වූ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ඔහු ය.
ඉරානය මේ වනවිට මැදපෙරදිග කොරෝනා වසංගතයේ ‘කලාපීය අපිකේන්ද්‍රය‘ (රීජනල් එපිසෙන්ටර්) බවට පත්ව තිබේ. මැදපෙරදිග ආසාදන 82,000 සහ මරණ 3,600 අතරින් වැඩිම ප්‍රමාණය ඉරානය විසින් වාර්තා කරයි. අද දිනයේ ද ඉරාන ජාතිකයන් 124 ක් මිය ගොස් ඇත්තේ,ඉරාන මරණ සංඛ්‍යාව 3160 දක්වා ඉහළ දමමිනි.
ඉරාන ජනාධිපති හසන් රුහානි ද, මෙම වසංගතයේ බරපතළකම පිළිගනිමින් ප්‍රකාශ කර තිබෙන්නේ පසුගිය වසරේ ආරම්භ වූ ඉරාන වර්ෂය පුරාවටම මෙහි බලපෑම පවතිනු ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලයේ කොරෝනා ආසාදිතයන් ගණන 6,800 ක් ලෙස වාර්තා වෙද්දී 31 දෙනෙක් මිය ගොස් තිබේ. මේ අතර අද ලැබුණු පුවතකින් සනාථ වන්නේ ඊශ්‍රායල් සෞඛ්‍ය ඇමතිවරයා ද කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව ඇති බවයි. ඔහු ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්නියාහුගේ සමීපතමයෙක් ලෙසට ද සැලකේ.
ගෙවී ගිය පැය 24 ක කාලය ඇතුළත ස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදනයෙන් 950 දෙනෙකු මරණයට පත් වූයේ, සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 10,003 ක් බවට පත් කරමිනි.
මේ අතර ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොරෝනා ආසාදන සංඛ්‍යාව එක් දිනක් ඇතුළත 110,238 සිට 102,136 වැඩි වී ඇත.
මේ වනවිට ස්පාඤ්ඤය මරණ සංඛ්‍යාව අතින් දෙවැනි වන්නේ ඉතාලියට පමණි.
රට තුළ තත්වය හැකි තාක් පාලනය කිරීම සඳහා දැඩි ලොක්ඩවුන් ප්‍රතිපත්තියක් අප්‍රේල් 11 වැනිදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක ය.
උතුරු කොරියාව තවදුරටත් කියා සිටින්නේ සිය රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් එක් අයෙකු හෝ නොමැති බව ය. අද දිනයේ ද මේ බව ප්‍රකාශ කළේ ජ්‍යේෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු විසිනි.
අසල්වැසි චීනය සමග පොදු දේශසීමාවක් බෙදා ගත්තත්, බාහිර ලෝකය සමග සබඳතා කපාහැරි රටක් වීම, මෙම රෝගයෙන් බේරී සිටීමේ රහස ලෙස ද උතුරු කොරියාව සලකයි.
නමුත් කලාපයේ දුර්වලම සෞඛ්‍ය සේවය පවතින රට වන්නේ උතුරු කොරියාව නිසා, ලෝක සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ උතුරු කොරියාව තුළ තත්වය ඔවුන් පවසන දෙයට වඩා හාත්පසින් ම වෙනස් දෙයක් වීමට ද ඉඩ ඇති බවයි.
පෙර ලිපිය –
‘‘දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දුන් විශාලතම අර්බුදය කොවිඩ්-19 යි.‘‘ – UN මහ ලේකම්