×

උන්මත්තකයකුට රටක් පාලනය කළ හැකිද? පෝල් මකාර්ට්නිත් මා සමඟ එකඟයි!

හඬ නගා කෑ ගසනවුන් හැමවිටම බුද්ධිමතුන් නොවෙයි...


මම එහෙම පටන් ගන්න හිතුවේ ඇයි? ඇත්තටම මේ කාලයේ ට්‍රම්ප් විරෝධය විදෙස් මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වන මාතෘකා වලින් එකක්. ට්‍රම්ප් උන්මත්තකයකු බව මැනවින් ඔප්පු කරා පසුගිය ජනවාරි 6 වෙනි දින.

මම මේ කතා කරන්නේ කුමක් ගැන ද යන්න ඔබට අවබෝධයක් නොමැති නම් ආපසු පුවත් දෙස හැරී බලන්න.

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වූවා. ජෝ බයිඩන් ජයග්‍රහණය කරා. නමුත් ට්‍රම්ප් ට සහයෝගය දක්වන්නන් මීට එකඟ වූයේ නැහැ. ඒ පිරිස අතර උන්මත්තකයො පිරිසක් ද සිටියා. ඔවුන් ඇමරිකාවේ අගනුවර සභාගර්භයට කඩා වැදුනා. ඒ තම උත්තරීතර නායකතුමන්ගේ තනතුර රැක ගැනීමට.

ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමමින් සිදුකළ මේ ක්‍රියාව හෙලාදකිනු වෙනුවට ට්‍රම්ප් ද ඔවුනට තමා කෙතරම් ආදරේ ද යන්න පැවසුවා.

ඉතින් ට්‍රම්ප් උන්මත්තකයකු නොවේද?

මා ට්‍රම්ප් උන්මත්තකයකු යැයි පැවසීමට යොදා ගන්නේ ඔහු සිය ධුරය තුළ සිදුකළේ යැයි පැවසෙන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියා ම නෙමෙයි. මා ඊට වඩා සැලකිලිමත් වන ගෝලීය අර්බුදයක් තිබෙනවා.

ඒ තමයි දේශගුණික අර්බුදය.

දේශගුණික විපර්යාස විහිළුවක් නෙවෙයි. එය මම මීට පෙර අවස්ථාවන් කිහිපයකදී ම පවසා තිබෙනවා. දේශගුණික විපර්යාස අප අරඹයා සීඝ්‍රයෙන් බලපාමින් තිබෙන අවස්ථාවක මිහිතලයේ වසන මිනිසුන්ට ඉදිරි සියවසක අනාගතය දැකීමට වත් හැකිවේද යන අවිනිශ්චිතභාවය ගැන විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

මා ට්‍රම්ප් උන්මත්තකයකු යැයි පැවසීමට යොදාගන්නේ මෙම කරුණ. ට්‍රම්ප්ට අනුව දේශගුණික අර්බුදය යනු මිත්‍යාවක්. ඔහුගේ වදන් වලින් ම පැවසුවොත් චීන උප්පරවැට්ටියක්. ඔහු පැරීසියේ දේශගුණික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළෙත් ඒ පදනමෙන් වෙන්න ඇති.

බ්‍රිතාන්‍ය පොප් සංගීතයේ මුරදේවතාවන් මෙන් සැලකෙන බීට්ල්ස් කණ්ඩායමේ හිටපු සාමාජික පෝල් මකාර්ට්නි මේ ගැන හොඳ විග්‍රහයක් කරනවා.

පෝල් මකාර්ට්නි හැමදාමත් දේශගුණික අර්බුදය ගැන තරයේ විශ්වාස කරපු කෙනෙක්. ඔහු නිර්මාංශ අනුභවය සම්බන්ධයෙන් විවිධ ව්‍යාපාර සිදුකර තිබෙනවා. ඒ ආගමික ඇදහිල්ලකට නෙමෙයි. නිර්මාංශ අනුභවය දේශගුණික අර්බුදයට විසඳුමක් වනු ඇතිය යන විශ්වාසයෙන්.

පෝල් තම සංගීතය දේශපාලනය විග්‍රහයට යොදා ගත්තේ ඉතාම කලාතුරකින්. නමුත් ට්‍රම්ප් උමතුව දෙස බලා සිටිනු නොහැකි වූ පෝල් දිනක ඒ පිළිබඳ ගීතයක් රචනය කරා ඔබට මතක ඇති.

පෝල් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඇමරිකානු දේශපාලනය ගැන විමසිල්ලෙන් පසුවූවෙක්. නමුත් පක්ෂපාතීත්වයක් පෙන්වීමට කටයුතු කළේ නැහැ. වැරදි දෙයට වැරදි යැයි පැවසුවා. පෝල් ලියූ ‘Despite Repeated Warnings’ ගීතය එවැන්නක්.

දේශගුණික අර්බුදයට බොහෝ සෙයින් සංවේදී පෝල් ඩොනල්ඩ් ට්‍රම්ප් දේශගුණික විපර්යාස සම්බන්ධ කතිකාව සැහැල්ලුවෙන් බැහැර කරන විට ඒ ඇසුරින් ගීතයක් ලිව්වා. ඒ තමයි, ‘Despite Repeated Warnings’.

දේශගුණික අර්බුද පිළිබඳ කතිකාව එහි උච්ඡතම අවස්ථාවට රැගෙන ගිය ග්‍රේටා තුන්බර්ග් දියණිය ඕටිස්ම් රෝගයෙන් පෙළෙන කලබලකාරී කෙල්ලක් යැයි ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අපහාස කරා. දේශගුණික අර්බුදය දේශපාලනික වාසි තකා චීනය විසින් නර්මාණය කරන ලද මිත්‍යාවක් බවට ප්‍රකාශ කරා. මේ අනුව පෝල් තම පෑන අතට ගත්තා.

‘Despite Repeated Warnings’ පෝල් ගේ 17 වන ස්වතන්ත්‍ර ගීත ඇල්බමය වන Egypt Station හි අඩංගු ගීතයක්. දේශගුණික විපර්යාස හමුවේ ට්‍රම්ප් අනුගමනය කළ සැහැල්ලු ප්‍රතිපත්තියට උරණ වීම මත මෙම ගීතය රචනා වූ බවයි පෝල් 2018 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසූයේ.

‘Despite Repeated Warnings’ ගීතයේ මේ අන්දමින් පදපෙලක් සටහන් වනවා..

“despite repeated warnings of dangers up ahead, the captain won’t be listening to what’s been said”,

“those who shout the loudest, may not always be the smartest”.

ඊවිනින් ස්ටෑන්ඩර්ඩ් පුවත්පත සමඟ පැවති එම සම්මුඛ සාකච්ඡාවේදී පෝල් අවධාරණය කළේ, දේශපාලනයට තමා දායක වීමට කැමැත්තක් දක්වන්නේ නැති මුත්, ට්‍රම්ප් දේශගුණික අර්බුදය ගැන දැරූ මතය දුටු විට ඔහු උන්මත්තකයකු යැයි තමාට සිතුණු බවත්, මේ ගැන කටපියාගෙන තමාට සිටිය නොහැකි වූ බවත් ය.

despite repeated warnings of dangers up ahead, the captain won’t be listening to what’s been said” හි අර්ථය ඉදිරියට පැමිණීමට නියමිත අන්තරාය ගැන කොපමණ අනතුරු අඟවා තිබුණ ද කපිතාන් එය ඇසීමට උනන්දු නොවූ බවයි. ඒ නයින් පෝල් ඩොනල්ඩ් ට්‍රම්ප් නෞකාවක කපිතාන්වරයකුට සමාන කොට තිබෙනවා. යාත්‍රා කරන නෞකාවක් මුහුණ දීමට නියමිත සුළි කුණාටු හා ආපදා ගැන එහි කපිතාන්වරයා මනා අවබෝධයකින් පසුවිය යුතු වනවා. ඔහු තම සගයන්ගේ අනතුරු ඇඟවීම් වලට කන්දීමට සූදානම් නැත්තම්, මුලුමහත් නෞකාවම මුහුදට කිඳාබසිනු ඇති..

those who shout the loudest, may not always be the smartest”, ඉන් හැඟවෙන්නේ ඉතා හඬ නගා කෑ ගසනවුන් හැමවිටම බුද්ධිමතුන් නොවන බවයි.

මේ ගීතයට මම පෞද්ගලිකව බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ එම ගීතය තුළින් ට්‍රම්ප්ට පහර දෙන නිසා නෙමෙයි, අප කාටත් පහසුවෙන් අමතක වී යන ගෝලීය අර්බුදයක් ගැන පෝල් යළි අපට මතක් කර දෙන නිසා.

පෘථිවියේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මිලියනයකට අංශු 415 (415ppm) කින් ඉහළ ගොස් තිබෙන මොහොතක, ගෝලීය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 2කින් (2.0°F) ඉහළ ගොස් තිබෙන මොහොතක, ආක්ටික් සාගරයේ අයිස් තට්ටු සියයට 13.1 කින් දියවෙමින් පවතින මොහොතක, මුළුමහත් පෘථිවියේ අයිස් තට්ටු වසරකට මෙට්‍රික් ටොන් බිලියන 428 දිය වෙමින් පවතින මොහොතක, මුහුදු මට්ටම වසරකට මිලිමීටර 3.3 කින් ඉහළ යමින් තිබෙන මොහොතක, දේශගුණික විපර්යාස යනු චීන උප්පරවැට්ටියක් යැයි සිතන ට්‍රම්ප් කිඳා බසින නෞකාවක කපිතාන්වරයකු යැයි උපමා කිරීමට පෝල් යොදා ගත් වචන අතිවිශිෂ්ඨ බවයි මගේ අදහස..

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි