×

ඊශ්‍රායලය වැට පනියි – ගාසා තීරය නැවත රත් වෙයි.

ඊශ්‍රායලයේ විශේෂ කාර්ය බලකාය සෙබළුන් විසින් ගාසා තීරයේ ඔවුන් විසින්ම ඉදිකර තිබෙන දේශසීමා වැට තුළින් ඇතුළු වී කිලෝමීටර 3 ක් දුරට ගමන් කිරීමේ සිදුවීම නිසා ගාසා තීරය නැවතත් උණුසුම් වී තිබෙන අතර, මේ වන විටත් ගාසා තීරයේ රොකට් ප්‍රහාර හුවමාරු වෙමින් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.


අද සවස ඊශ්‍රායල දේශසීමාව තුළ ගමන් ගනිමින් තිබූ බස් රියකට, පලස්තීන පාලනයක් සහිත ගාසා තීරය දෙසින් මෝටාර් ප්‍රහාරයක් එල්ල විය. ඒ අනුව මේ වන විට ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා විසින් ගාසා තීරයේ පලස්තීන පාලන ප්‍රෙද්ශය වෙත දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටියි.

විනාඩි 40 ක් ඇතුළත ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර 80 ක් එල්ල කළ බව නවතම වාර්තාවල සඳහන් වේ.

Kashmir Age

Kashmir Age

නවතම අර්බුදය ඇරඹුණු හැටි

මෙම නවතම නොසන්සුන්තාවයට මුල් වූ සිදුවීමේදී ඊශ්‍රායල් සෙබළුන් පිරිස ගාසා තීරයට ඇතුල් වී ගමන් කර තිබෙන්නේ සිවිල් වාහනයකිනි. එහිදී ඔවුන් විසින් 37 හැවිරිදි නූර් බරකා (Nour Baraka) වෙඩි තබා මරා දමා තිබේ. ඔහු හමාස් සංවිධානයේ අල්-ක්වාසම් බ්‍රිගේඩයේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකි.

අල්-ක්වාසම් බ්‍රිගේඩය යනු, ගාසා තීරයේ විමුක්තිය වෙනුවෙන් සටන් වැද සිටින හමාස් සංවිධානයේ හමුදා අංශයේ නිල නාමයයි.

Abed Zagout - Anadolu Agency

Abed Zagout – Anadolu Agency

මෙම හමාස් ප්‍රබලයාව මරාදැමීමෙන් පසු ඇති වූ උණුසුම් වාතාවරණය තුළ ගාසා තීරය ගිනි වැදුණු අතර, තවත් පලස්තීනුවන් 6 දෙනෙක් ද මරා දමනු ලැබීය.

ගාසා තීරයට අනවසරයෙන් ඇතුල් වී සිටි ඊශ්‍රායල් කණ්ඩායම, එයින් ඉවත් වූයේ, ඊශ්‍රායලය දෙසින් ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල වන වාතාවරණයක් මධ්‍යයේ ය.

ගාසා තීරයෙන් ඊශ්‍රායලය වෙතට රොකට් ප්‍රහාර 17 ක් එල්ල කළ බවත්, එයින් 3 ක් මර්දනය කළ බවත් ඊශ්‍රායල හමුදාව පසුව කියා සිටියේය.

සාම වෑයම කඩාකප්පල් වෙයි.

මෙම කුපිත කිරීම සිදුවූයේ අතිශය සංවේදී කාලයකදී ය. සැලකිය යුතු කාලයක් මුළුල්ලේ ඊශ්‍රායලය හා පලස්තීනයේ හමාස් සංවිධානය අතර පැවති සටන් විරාමය, ඊජිප්තුවේ කපු කමෙන් හටගත්තකි. එසේම ජගත් සංවිධානය ද එයට මූලිකත්වය ගත් අතර, ඒ සඳහා මුදල් වියදම් කළේ කටාර් රාජ්‍යයයි.

එසේම මෙම උණුසුම්කාරී තත්වය හටගන්නා විට ඊශ්‍රායල් නායක බෙන්ජමින් නෙතනියාහු, තමන් ගාසා තීරයේ ස්ථාවරත්වයක් ඇති කිරීමට කොතරම් ඇප කැප වී සිටින්නේදැයි පැරිසියේ පැවති රැස්වීමකදී කියමින් සිටියේය.

නමුත් මෙවැනි අවස්ථාවක ගාසා තීරය තුළට රිංගා හමාස් සංවිධානයේ මුල් පෙළ කමාන්ඩර්වරයෙකු ඝාතනය කිරීමද, ඊශ්‍රායලයේ තවත් කූට යුධ උපක්‍රමයක් බවට මේ වන විට දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.

මේ 4 වැනි ගාසා යුද්ධයයි.

ඊශ්‍රායලය සහ පලස්තීන ගරිල්ලන් අතර, 2008 වසරේ පටන් 2018 වසර වන විට ගාසා තීරය තුළ පමණක් යුධමය තත්වයන් 3 ක් හටගෙන තිබේ. මේ ඇති වී තිබෙන්නේ 4 වැනි ගාසා යුද්ධයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි