×

ඇමරිකාව කොවිඩ් මරණ ලක්ෂ 5 පසුකරයි – දිවි අහිමි වූවන් වෙනුවෙන් බයිඩන් ඉටිපන්දම් දල්වයි

එක්සත් ජනපදයේ මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ පහ ඉක්මවා තිබේ.


ඒ අනුව, 500,071 ක මරණ සංඛ්‍යාවක් ඇමරිකාව තුළ පමණක් වාර්තා වී තිබේ.

ඇමරිකාව ලොව අනෙකුත් රටවල් සියල්ලන්ගේ ම කොවිඩ් මරණ එකතුව හා සමපාත වන අන්දමේ මරණ සංඛ්‍යාවක් වාර්තා කර තිබීම ද විශේෂත්වයකි.

ඒ අනුව ලොව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් ඇමරිකාව තුළින් පමණක් වාර්තා වී තිබේ.

ඇමරිකාව හැරුණු විට අනෙත් රටවල් සියල්ලන්ගේම කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 500,201 ලෙස සටහන් වේ.

මේ අතර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මහතා කොවිඩ් උවදුරෙන් දිවි අහිමිවූවන් සිහිපත් කරමින් ඉටිපන්දම් දැල්වීමේ අවස්ථාවක් සංවිධානය කර තිබේ.

ධවල මන්දිරය වටා ඉටිපන්දම් පන්සියයක් දල්වා කොවිඩ් වසංගතයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම මෙහිදි සිදුවිය.

එමෙන්ම, කොවිඩ් මරණ සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් බයිඩන් මහතා අවධාරණය කර තිබෙන්නේ එක් වසරක් තුළ මෙසේ මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය සහ වියට්නාම යුද්ධය නිසා සිදුවූ මරණ සියල්ලන්ගේ ම එකතුව ද අභිබවා ගොස් ඇති බවයි.

කොවිඩ් උවදුර තුරන් කිරීම සඳහා සියළු පක්ෂ පාට භේද පසෙක ලා සියළු දෙනා නැඟී සිටිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වන විට ගෝලීය කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 28 ඉක්මවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි