×

ලබන වසන්ත සෘතුව වන විට යුරෝපයේ මිලියන භාගයක් කෝවිඩ්වලින් මිය යාවි ! – WHO අනතුරු අඟවයි

සිව්වැනි කෝවිඩ් රැල්ලට ප්‍රතිචාර ලෙස ලොක්ඩවුන් සහ සංචරණ සීමාවන් පැනවීමට එරෙහිව නෙදර්ලන්තය ප්‍රමුඛ යුරෝපයේ රටවල් ගණනාවක උද්ඝෝෂණ හටගෙන තිබේ.


නෙදර්ලන්තයේ හේග් නුවරට රැස්වූ ජනතාව වීදිවල තිබූ පාපැදිවලට ගිනි තබමින් පොලිසියට ද පහර දුන් බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට පෙර දිනයේ රොටර්ඩෑම් නුවර පැවති උද්ඝෝෂණ ද ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය.

මේ අතර, නෙදර්ලන්තයේ පැවති පාපන්දු තරග දෙකක් ද අතරමග කඩාකප්පල් වී ගියේ පාපන්දු රසිකයන් හිටි හැටියේම පිටියට පැන විරෝධතාවය පළ කරමින් හැසිරෙන්නට පටන් ගත් හෙයිනි.

පසුගිය සතියේ සිට නෙදර්ලන්තය සති 3 ක කාලයක් සඳහා කොටස් වශයෙන් රට වසා දමමින් සිටින්නේ කෝවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ යුරෝපයේ කෝවිඩ් අපිකේන්ද්‍ර බවට පත්ව ඇති රටවල් තුළ දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින ආකාරයයි.

ඔස්ට්‍රියාව, ක්‍රොයේෂියාව සහ ඉතාලියේ ද දහස් ගණන් ජනතාව වීදිවලට බැස මේ වන විට විරෝධය පළ කරමින් සිටිති.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපයේ තත්වය පිළිබඳව තමන් මහත් සේ කණගාටු වන බවයි.

ලොක්ඩවුන් සහ සංචරණ සීමා නොපනවන්නේ නම්, ලබන වසන්ත සෘතුව වන විට මිලියන භාගයක යුරෝපා ජනතාවක් කෝවිඩ් නිසා මරණයට පත් වීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.

කලාපයේ සිදුවන මරණ වලට ප්‍රථම හේතුව බවට මේ වන විට පත්ව තිබෙන්නේ ද කෝවිඩ් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි