×

සමරිසියන්ට ගැරහීම හොඳටම කරන චෙක් ජනරජයේ ජනපති!

චෙක් ජනරජයේ ඉදිරිපත් වූ සමරිසි විවාහ නීත්‍යානුකූල කිරීමේ පනත අහෝසි කිරීමට තමා සැලසුම් කරන බව එරට ජනාධිපති මයිලෝස් සෙමාන් පවසයි.


සමරිසි පුද්ගලයන්ට තම රට තුළදී ම නීත්‍යානුකූලව විවාහ ගිවිස ගැනීමට අවසර ලබා දීම සඳහා කෙටුම්පත් කළ පනත චෙක් ජනරජයේ පහළ සභාව වෙත ඉකුත් ජූනි 07 වන දින ඉදිරිපත් කර තිබිණි.

සමරිසි විවාහ චෙක් ජනරජය තුළ නීත්‍යානුකූල කළ යුතු ද නැත්ද යන පාර්ලිමේන්තු විවාදය ඉදිරියේදී පැවැත්වීමට නියමිත මුත්, එරට ජනාධිපතිවරයා කල් තියාම ප්‍රකාශ කර ඇත්තේ මෙම පනත අහෝසි කිරීමට තමා සැලසුම් කරන බවයි.

ඒ අනුව එම පනත තමාගේ කාර්යාලය වෙත පැමිණෙනවාට වත් තමා කැමති නැති බවක් ඔහුගේ ප්‍රකාශය තුළින් මයිලෝස් සෙමාන් ජනාධිපතිවරයා හඟවා ඇත.

මයිලෝස් සෙමාන් චෙක් ජනරජයේ 2013 පටන් ජනාධිපතිවරයා ය. එරට නීති වලට අනුව, ඔහුට හිමි විධායක බලය සීමා සහිත මුත්, දේශපාලනික වශයෙන් වැඩි වාසියක් ඇති බව ද සඳහන්.

2006 වර්ෂයේදී චෙක් ජනරජයේ සමරිසි යුවළයන්ට ලියාපදිංචි හවුල්කාරීත්වයන් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය නීතියක් සම්මත විය. මෙමඟින් විෂමරිසි විවාහක පුද්ගලයන් සඳහා ලැබෙන ඇතැම් වරප්‍රසාද සමරිසි පුද්ගලයන් ට ද ලැබේ.

කෙසේවෙතත්, විවාහ වීම තුළින් යුවළයකට ලැබෙන සම්පූර්ණ වරප්‍රසාද සමරිසි පුද්ගලයන්ට එමඟින් නොලැබෙන අතර, ඊට අදාළවයි මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් වී තිබේනනේ.

එහෙත් පවුල් ඒකකයක් පැවතිය යුත්තේ ‘පිරිමියකු සහ කාන්තාවක අතර පමණක්’ ය යන දැඩි ස්ථාවරයේ වත්මන් ජනපති මයිලෝස් පසුවෙයි. එතනින් එහාට ඔහුට ඒ ගැන කතා කිරීමට දෙයක් ඇත්තේම නැති බව ද මයිලෝස් ජනපති කියා සිටියි.

සමරිසි පුද්ගලයන්ට විවාහ වීම සඳහා ඇති අයිතියට අදාළ පනත මුල්ම වරට චෙක් ජනරජයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ 2018 වර්ෂයේ ය. එහෙත් ඊට මත විමසුමක් නොපවත්වන ලදී.

මෙවර එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත්තේ පහළ සභාව වෙත වන අතර, චෙක් ජනරජයේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව, ජනාධිපතිවරයා එවන් පනතක් අහෝසි කළ ද, එය අභිබවා කටයුතු කිරීමට පහළ පාර්ලිමේන්තුවට හැකි වන්නේ එය බහුතර පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්දයකින් සම්මත වන්නේ නම් පමණි.

Photo: GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි