×

වසර 10කට පෙර සිදු වූ දරයියාහි ඛේදවාචකය

කාන්තාවන් හා දරුවන් ඇතුළුව සාමාන්‍ය මිනිසුන් 700 පමණ මරා දමන ලද මෙම ඝාතනය සිරියානු රාජ්‍ය මාධ්‍ය එකල ප්‍රකාශ කළේ හමුදාව ත්‍රස්තවාදී නටබුන් වලින් දරයියා පවිත්‍ර කළ බවයි.


2012 අගෝස්තු හි සිදු වූ අමානුෂික ඝාතනයට දින කිහිපයකට පෙර, ඩැමස්කස් අගනුවර දොරකඩ පිහිටි සිරියානු නගරයක් වන දරයියා දැඩි බෝම්බ ප්‍රහාරයකට ලක් විය. එහි පදිංචිකරුවන් 2011 සිරියානු ගැටුමේ ආරම්භයේ සිට ජනාධිපති බෂාර් අල්-අසාද්ට විරුද්ධ වීම හේතුවෙන් දිගින් දිගටම ත්‍රස්තවාදී චෝදනාවන්ට ලක්වූ පිරිසකි. එහි ප්‍රතිඵලයක් ලෙස මින් වසර 10කට පෙර සිරියාවේ සිදුවූ අමානුෂිකතම සමූල ඝාතනය සිදු වූ අතර එය දාරයියා සමූලඝාතනයයි.

කාන්තාවන් හා දරුවන් ඇතුළුව සාමාන්‍ය මිනිසුන් 700 පමණ මරා දමන ලද මෙම ඝාතනය සිරියානු රාජ්‍ය මාධ්‍ය එකල ප්‍රකාශ කළේ හමුදාව ත්‍රස්තවාදී නටබුන් වලින් දරයියා පවිත්‍ර කළ බවයි. තම හමුදාවන් විසින් නීති විරෝධී ඝාතන සහ වෙනත් සාහසික ක්‍රියා සිදු කර ඇති බවට එල්ල වන චෝදනා ද ආණ්ඩුව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.


එක්සත් රාජධානිය පදනම් කරගත් උපදේශක කණ්ඩායමක් වන Syrian British Consortium විසින් මෙම පරීක්ෂණයක් මෙහෙයවා තිබිණ. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මිය ගිය 700කට අධික පුද්ගලයන් අතරට ළමුන් 63ක් සහ කාන්තාවන් 36ක් ඇතුළත් විය. එසේම, වටකර මරාදැමූ පිරිමින් අතර ඇතැමුන් පිජාමා සහ සෙරෙප්පු පැළඳ සිට ඇති අතර මෙය පැහැදිලිව සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරයක් බවට ඔවුන් තහවුරු කර තිබිණ.


සමහර ඇසින් දුටු සාක්ෂිකරුවන් සටන්කාමීන්ගේ නිල ඇඳුමේ ලාංඡන දැකීමෙන් මෙන්ම ඔවුන්ගේ උච්චාරණවලට සවන් දීමෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ ඉරාන මිලීෂියා කණ්ඩායම්වල සාමාජිකයින් සහ ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කරුවන් සමූල ඝාතනය සිදු කළ සිරියානු රජයේ හමුදා අතර සිටි බවයි.

රජය මේ වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් හෝ විමර්ශනයක් සිදුකර නොමැති අතර අසාධාරණයට ලක්ව මිය ගිය බොහෝ පිරිසක් අදටත් දාරයියාහි යුක්තිය ඉටුවනු බලා සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි