×

මිනිස් සතා ගැන අචල විශ්වාසයෙන් – ප්ලාස්ටික් පිරුණු කුසින් මිය ගිය බිලී

‘‘BILLY THE BULL‘‘ යනුවෙන් ෆේස්බුක් සර්ච් කරන්නේ නම් ඔබට ඔහුව හමුවනු ඇත.


දයාබර ඔහු වෙනුවෙන් වෙන් වූ “Billy – the Pui O legendary cow! වැනි ෆේස්බුක් ෆෑන් පිටු මෙන්ම, ඔහුට අවසානයේ අත් වූ ඉරණම ගැන ද සටහන් රාශියක් එහිදී ඔබට හමුවනු ඇත.

බිලී තවදුරටත් ජීවතුන් අතර නැත. ගවයෙකුට නොතරම් වූ සහ අසාමාන්‍ය තරමට මිනිසුන්ට මිත්‍රශීලී වූ, මිනිසුන්ව විශ්වාස කළ බිලී අවසානයේ මිය යන්නේ ප්ලාස්ටික් පිරුණු කුසක් සහිතව ය.

‘‘ඔහුගෙ බඩේ ප්ලාස්ටික් පිරිලා…!“ යැයි බිලී මියගිය පසු හෙළි වී ඇති යථාර්ථය විසින් අපට පසක් කරන්නේ කුමක්ද?

අතිශය හීලෑ ගවයෙකු වූ බිලී ජීවත් වුණේ හොංකොං හි ලැන්ටායු දූපතේ ය. සංචාරකයන් අතර බිලී ඉතාම ජනප්‍රිය, හිතහොඳ චරිතයක් විය. අඬ ගසන කවුරුන් ළඟට වුවත් කිසි පැකිළීමක් නැතිව ආවේය. මිනිස් සතා දෙන කොයි දේත් කෑවේය, බීවේය. නමුත් මිනිස් සතා ඔහුට වැඩියෙන්ම දී තිබුණේ ප්ලාස්ටික් ය.!

වෙරළ තීරයට පැමිණෙන සංචාරකයන් විසින් ඔහුට කෑම බීම ලබාදීම ආරම්භ කළ නිසාම, ඔහු කෙමෙන් තණකොළ බුදීම අඩු කළේය. ප්ලාස්ටික් හා තණකොළ මිශ්‍රිත ආහාරයකට හුරු වෙමින් බිලී ප්ලාස්ටික්වලට පෙම් බඳින්නට පටන් ගෙන ඇති බවත්, මේ හේතුව නිසාස ඔහුගේ ආහාර රටාවල වෙනසක් සිදුවී ඇති බවත් කිසිවෙකු දුටුවේ නැත.

පුයි ඕ හි තණපිටිවල තණ උළා කමින් ජීවත් වූ බිලී මෙලොව ජීවත් වුණේ යන්තමින් අවුරුදු 8 ක් පමණි. මව මෝටර් රථයක හැපී මිය යන විට බිලී ගේ වයස යන්තමින් මාස කිහිපයක් පමණක් විය. පසුව බල්ලන් විසින් හපා කෑ බිලී, බරපතළ තුවාළ සහිතව සිටියදී ඔහුගේ දිවි බේරාගෙන තිබෙන්නේ පශු වෛද්‍යවරුන් විසිනි. සෙමෙන් ඔහු මිනිසුන් ගැන විශ්වාසය තබන්නට ඉගෙන ගත්තේය. තමන්ට ජීවිතය දානය කළ මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතය උදුරා ගනු ඇතැයි බිලී කිසිවිටෙක නොසිතන්නට ඇත. පසුව වෙනත් ගවරංචුවක් සමග එක්ව දූපතේ නිදැල්ලේ වාසය කළත්, මිනිසා සමග ඇති කරගත් නෑ කම බිලී කිසිදා අත් නොහළේය.

ආදරණීය බිලීගේ මරණයෙන් පසු හොංකොං හි කෘෂිකාර්මික, ධීවර හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව ෆේස්බුක් පෝස්ට් එකක් හරහා බිලීගේ මරණයට හේතුව නිල වශයෙන් හෙළි කර සිටියේය. එහි සඳහන් වන්නේ විශාල කුණු බාල්දියක් පිරවිය හැකි තරමේ ප්ලාස්ටික් බෑග් තොගයක් බිලීගේ කුසේ තිබූ බව ය.

මේ ගෙවී යන්නේ බිලී නැති පළමු සතියයි. දූපතේ නිදැල්ලේ ඇවිදින, මිනිස් සතා දුටු විට ළඟට එන, මදක් සුරතල් වී, දෙන දෙයක රස බලා ආපසු යන බිලී ඔවුන්ට කිසිදා දැකගන්නට නොලැබෙනු ඇත. දැන් ලැන්ටායු දූපත් වැසියෝ බිලීගේ මරණය වෙනුවෙන් ශෝක වෙමින් සිටිති. නමුත් ශෝක වීමෙන් පමණක් බිලීට යුක්තියක් ඉටු නොවනු ඇත. බිලී වැනි කිසිදු නිදැල්ලේ වැඩෙන සතෙකුට කෑම ලබාදීම සිදු නොකරන ලෙසත්, වෙරළාසන්නයේ හෝ රට අභ්‍යන්තරයේ කසළ නොදමා, ඒවා නගරයේ කුණු බාස්කට්වලට බහාලන ලෙසත් බලධාරීන් විසින් සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. බිලී නැවත කිසිදා නාවත්, බිලී වැනි තවත් දයාබරයන්ට මේ ඉරණම අත් නොවන්නට එයින් පිටුවහලක් ලැබෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි