×

පිලිපීනයේ ලක්ෂ එකහමාරයි – ලංකාවේ ලක්ෂ 2 යි. – ඩෙංගු වසංගතය ලොව පුරා හිස ඔසවයි.

පිලිපීනයේ ඩෙංගු මරණ ගණන 622 දක්වා ඉහළට ගොස් ඇති අතර 150,000කට ඩෙංගු රෝගය වැළඳී ඇති බව අනාවරණය වේ. මේ සමගම ජාතික ආපදා තත්වයක් සමග වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පිලිපීනයට සිදුව තිබේ.


පිලිපීනයේ ඩෙංගු මරණ ගණන 622 දක්වා ඉහළට ගොස් ඇති අතර 150,000කට ඩෙංගු රෝගය වැළඳී ඇති බව අනාවරණය වේ. මේ සමගම ජාතික ආපදා තත්වයක් සමග වසංගත තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පිලිපීනයට සිදුව තිබේ. මෙයට සාපේක්ෂව ලංකාවේ මේ වසරේ පළමු මාස 7 තුළ ඩෙංගු රෝගීන් ලක්ෂ 2 ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව 47 කි.

පිලිපීනයේ ඩෙංගු වසංගතය හිස එසවීමට ආසන්නතම හේතුව ලෙස හඳුනාගෙන තිබෙන්නේ ළදරු මරණවලට වග කියන බව හඳුනාගත් එන්නතක් තහනම් කිරීමයි. ඒ සමගම ඇස් අදහාගත නොහැකි වේගයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන්නට විය. මේ වසරේ ජනවාරි-ජූලි කාලය තුළ ඩෙංගු රෝගීන් එරටින් 146,062 වාර්තා වූයේ, පසුගිය වසරේ එනම් 2018 වසරේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවට වඩා 98% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. මේ දක්වා සිදුව ඇති මරණ 622 අතරින් අති බහුතරය වයස අවුරුදු 10 ට අඩු දරුවන් බව ද වාර්තා වේ.

මොකක්ද මේ වැක්සිනය?

එහි නම Dengvaxia ය. එය Sanofi Pasteur නමැති ප්‍රංශ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ඔසුවකි. මෙම ඖෂධ සමාගම, දරුවන් ලක්ෂ ගණනකට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදෙන දීප ව්‍යාප්ත වැඩසටහනක් දියත් කළ අතර, එහිදී දරුවන් ගණනාවක්ම අබිරහස් ලෙස මිය ගිය බව වාර්තාවිය. පිලිපීනය මෙම ඖෂධ සමාගමේ සියලු ඖෂධ සමග ඩෙංගු එන්නත ද මේ අනුව තහනම් කළේය.

නමුත් පිලිපීන වෙළඳපොළේ පවතින එකම එක ඩෙංගු ඔසුව වූයේ එම එන්නතයි. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා ලෝකයේ රටවල් 50 ක් සඳහා අනුමත කළ එකකි. එය ලබාදීමට අනුමත කර තිබෙන්නේ වයස අවුරුදු 9 ට වැඩි, ඉහළ ඩෙංගු අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වන අයට ය. ඒ හැර ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතිවලදී සහ වයස අවුරුදු 9 ට අඩු දරුවන්ට එය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණේ නැත. අතදරුවන්ටත් එන්නත් විදීමත් සමග වාර්තා වූ ළමා මරණ සම්බන්ධයෙන් පිලිපීන රජය කළේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමකි. එනම්, සියලු ඩෙංගු ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළවල් නතර කර එම ඔසුව සහ සමාගම ගැන විමර්ශනයක් ආරම්භ කිරීමයි. දරුවන් සිය ගණනක් ඩෙංගු රෝගයෙන් මිය යන්නට පටන් ගත්තේ මේ අතරවාරයේ ය.

පිලිපීනයේ ඩෙංගු පමණක් නොව දරුවන් බිලි ගන්නා රෝග පසුගිය වසරේ ගණනාවක්ම දැඩි සේ ව්‍යාප්ත විය. ඒ අතර සරම්ප රෝගයෙන් ද දරුවන් 500 දෙනෙකුට වඩා දැනට මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙය, පසුගිය වසරේ වාර්තා වූ සරම්ප මරණ ගණන මෙන් 600% ගුණයක වැඩි වීමකි.

පිලිපීනය මදුරුවන් හොය හොයා මරයි

පිලිපීන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් දියත් කර ඇති අතර, එයට සමගාමීව ඩෙංගු මදුරුවන් බිත්තර දමන ස්ථාන ද විනාශ කිරීමේ යෙදී සිටියි. මදුරු නාශක ඇඟ ගල්වා ගන්නා ලෙසත්, සම ආවරණය වන පරිදි ඇඳුම් අඳින ලෙසත් ඔවුහු ජනතාවට උපදෙස් දෙති.

මැලේසියාවටත් ඉහළ අවදානමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව 2019 ජූනි 29 වන විට මැලේසියාවෙන් ඩෙංගු රෝගීන් 62,421 ක් වාර්තා වී තිබේ. එය පසුගිය වසරේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. මේ අතරින් 93 දෙනෙක් මිය ගොස් ද තිබේ.

බංග්ලාදේශයත් ඩෙංගු රකුසාට

මේ අතර බංග්ලාදේශය මේ වන විට එදාමෙදාතුර ඇති වූ දරුණුතම ඩෙංගු වසංගතයට මුහුණ දී සිටියි. ඔවුන්, මේ වන විටත් අඩාල වී පවතින සෞඛ්‍ය සේවාව සමග මෙම අභියෝගයට මුහුණ දීමට දැඩි සටනක් කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ මාස 7 ට ඩෙංගු රෝගීන් ලක්ෂ 2ක්!

දකුණු ආසියාවේ බරපතළම ඩෙංගු අවදානම තවමත් වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙනි. මේ වසරේ මුල් මාස 7 තුළ ඩෙංගු රෝගීන් 234,078 ක් වාර්තා වී ඇති අතර, 47 දෙනෙක් එයින් මරු වැළඳගෙන තිබේ. වැඩිම අවදානම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊළඟට ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වැඩිම රෝගීන් ගණන වාර්තා වේ.

2018 වසරේ ඩෙංගු රෝගීන් 48,000 ක් පමණ වාර්තා වූ අතර, ඒ අතරින් 50 දෙනෙක් මරණයට පත් වූ බව ද වාර්තා විය.

කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර සහ රත්නපුර රටේ ඉහළම ඩෙංගු අවදානමක් සහිත දිස්ත්‍රික්ක 5 ලෙස මේ වන විට හඳුනාගෙන ඇත.

ජාතික ඩෙංගු නිවාරණ ඒකකය විසින්ම හෙළිකළ මේ සංඛ්‍යාලේඛන මේ වන විට ජාත්‍යන්තර පුවත් සේවාවන්ගේ ශීර්ෂ පාඨ මවමින් සිටියි. ඒ අතරවාරයේ ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ඩෙංගු පර්යේෂකයා තවමත් හුදෙකලා විද්‍යාගාරයකට වී තමන්ගේ ඩෙංගු ඔසුව කුඩා වෙළඳපොළක් වෙත තනිවම අලෙවි කරමින් සිටියි. ‘පැපොල් කොළ යුෂ ඩොක්ටර්‘ යනුවෙන් ලාංකිකයන් අතර ප්‍රකට ඔහු, වෛද්‍ය සනත් හෙට්ටිගේ ය. මීට පෙර ලංකා නිව්ස් වෙබ් සහ අවුට්බවුන්ඩ් ටුඩේ වෙබ් අඩවිවලින් හෙළි කළ පරිදි නොටිංහැම් සරසවිය පවා තහවුරු කළ ඔහුගේ ‘පපායා කැප්සියුලය‘ ගැන තවමත් ලංකාවේ බටහිර වෛද්‍ය ලෝකය බලන්නේ පාට උපැස් යුවළ පළඳා ගනිමිනි.

Dr Sanath Hettige (Photo: Ajith Senevirathna)

ඉතින්, මේ මොහොතේ ලෝකයේ වැඩිම ඩෙංගු මරණ ගණන වාර්තා කරන පිලිපීනයටත් වඩා ලංකාව වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් වාර්තා කරමින් සිටීම ගැන පුදුම නොවන්න!

කියවන්න –
පැපොල් කොළ යුෂ ඩොක්ටර් සනත් හෙට්ටිගේ ගේ ඩෙංගු නිවාරණ ඔසුවේ ගුණ නොටිංහැම් සරසවියත් තහවුරු කරයි

ලොවට අගේ ඇති -අපට අගේ නැති ‘පැපොල් කොළ යුෂ ඩොක්ටර්’



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි