×

ඩෙරෙක් ෂොවින් හිටපු පොලිස් නිලධාරියා ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වෙයි!

තම ජීවිතය අහිමි වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ට මෙම අධිකරණ තීන්දුවෙන් යළි පණ ලබා නොදුන්නද, යුක්තිය ඉටුකිරීමේ පණිවුඩය ලොවට ලබාදීමට ඇමරිකානු අධිකරණය කටයුතු කර ඇත.


ඉකුත් වසරේ මැයි එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි දී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතික තරුණයා මහමඟ ගෙල සිරකර ඝාතනය කිරීමේ සිදුවීමට හිටපු පොලිස් නිලධාරී ඩෙරික් ෂොවින් වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කර තිබේ.

මෙම ඝාතනය එරට වර්ගවාදී ගැටුම් පිළිබඳ කතිකාවත ප්‍රභල ලෙස යළි අවදි කිරීමට සමත් වූ අතර, ඇමරිකාවේ කළු ජාතික ප්‍රජාවට සිදුවන හිංසනයන්ට එරෙහිව ඇමරිකානු පුරවැසියන් වීදි බසින තත්ත්වය දක්වා උත්සන්න වී තිබිණි.

හිටපු මිනියාපොලිස් පොලිස් නිලධාරී ඩෙරෙක් ෂොවින් මෙම වරද පිළිගැනීමට සූදානම් නොමැති වූ මුත්, අධිකරණය විසින් ඒකමතික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත්, ඊට චෝවින් වරදකරු බවත් ය.

ඉකුත් වසරේ මැයි මස සාප්පුවක දී ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබා දී ගනුදෙනු කළේය යන චෝදනාව මත ජෝර්ජ් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර, ඩෙරෙක් නම් හිටපු පොලිස් නිලධාරියා ජෝර්ජ් පොළවට පතිත කොට ඔහුගේ ගෙල තම පාදයෙන් සිරකර ගෙන සිටින අයුරු කැමරා කාචයේ සටහන් ව තිබිණි.

මෙහිදී ජෝර්ජ් වේදනාවෙන් තමාට හුස්ම ගැනීමට නොහැකි යැයි විලාප නඟන අන්දමත්, එය කනකට නොගෙන ඩෙරෙක් ඔහුගේ ගෙල දිගටම සිරකර ගෙන සිටින අයුරුත් එම සංවේදී වීඩියෝවේ වැඩිදුරටත් දැක්වේ.

විත්තියේ නීතීඥයින් මෙම සිදුවීම අදාළ මොහොතේ ජෝර්ජ් කලහකාරී ලෙස හැසිරීම මත ඊට ප්‍රතිචාර වශයෙන් පොලීසිය ප්‍රොටොකෝලයට අනුව ආරක්ෂාව සඳහා දැක්වූ හැසිරීමක් යැයි ඒත්තු ගැන්වීමට උත්සාහ කළඳ, ඩෙරෙක් ගේ ක්‍රියාව මිනියාපොලිස් පොලිස් පටිපාටීන් ට අනුකූල නොවන බවත්, එම මොහොතේ ඩෙරෙක් දැක්වූ හැසිරීම පොලීසිය විසින් මෙවන් සිදුවීමකදී දැක්විය යුතු හැසිරීමක් නොවන බවත් අධිකරණය විසින් තීන්දු කොට තිබිණි.

තම ජීවිතය අහිමි වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් ට මෙම අධිකරණ තීන්දුවෙන් යළි පණ ලබා නොදුන්නද, යුක්තිය ඉටුකිරීමේ පණිවුඩය ලොවට ලබාදීමට ඇමරිකානු අධිකරණය කටයුතු කර ඇත.

ඒ අනුව, ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ආරම්භ කළ ඇමරිකාවේ වර්ගවාදයට එරෙහි සටනේ යම් ජයග්‍රහණයන් මින් සනිටහුන් කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි