×

ට්‍රම්ප් ඉටු කළ පොරොන්දු, කඩ කළ පොරොන්දු සහ අත් හැර දැමූ පොරොන්දු (2016-2020)

2020 ඇමරිකානු මැතිවරණයේදී ඇතැම් ජනපදවල පවතින්නේ කරට කර තරගයකි. 2016 වසරේ සිට මේ දක්වා පුරා වසර 4 ක් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දේශපාලන ගාමකයේ පැහැදිලි වෙනසක් සටහන් කරමින් ලබාදුන් පොරොන්දු මොනවාද සහ ඒ අතරින් ඔහු ඉටු කළ පොරොන්දු මොනවාද යන්න සලකා බැලීම මේ අවස්ථාවේදී වඩා වැදගත් වනු ඇත.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2016 වසරේදී 45 වැනි ජනපතිවරයා බවට පත්විය.

මේ වසර 4 පුරාවට ඔහු කළ කී දෑ ශීර්ෂපාඨ නිර්මාණය කළේය. ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම මුස්ලිම් ජාතිකයන්ට තහනම් කළ යුතු බව, මෙක්සිකෝව අවහිර කරමින් තාප්පයක් ඉදි කළ යුතු බව එයින් කිහිපයකි.

නමුත් ජාතික ණය අවසන් කිරීම වැනි ඔහු ලබාදුන් ඇතැම් පොරොන්දු එතරම් අවධානයක් දිනාගත්තේ නැත.

ඒ අනුව ඔහු ලබාදුන් පොරොන්දුවලට අද දිනය වන විට සිදුව තිබෙන්නේ කුමක්දැයි සොයාබැලීම ඉතා කාලෝචිත ය.

—- ඉටු කළා

—- ආංශිකව ඉටු කළා  — ප්‍රගතියක් නැත

— අත්හැර දැමුවා

 

බදු කපා හැරීම

2016 ට පෙර : කෝපරේට් ටැක්ස් හෙවත් සමාගම් බදු ප්‍රතිශතය කපා හැරීමටත්, වැඩකරන ඇමරිකානුවන්ට විශාල බදු සහනයක් ගෙන දීමටත් ඔහු ප්‍රතිඥා දුන්නේය.

පසු: 2017 දෙසැම්බර් මාසයේදී ඔහු අයත් රිපබ්ලිකන් පක්ෂයේ බදු සැලසුම සම්මත විය. සමාගම් බදු 21% දක්වා අඩු විය. කෙසේ වෙතත් ඔහු ප්‍රතිඥා දී තිබුණේ එම බදු 35% සිට 15% දක්වා අඩු කිරීමට ය.

තනි පුද්ගලයන්ගෙන් අය කළ බදු ද මේ වන විට කල් ඉකුත් වී තිබේ. නමුත් රිපබ්ලිකානුවන් කල්පනා කරන්නේ අනාගත රජයක් විසින් එය නැවත අලුත් කරනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම බදු කපා හැරීම නිසා දුප්පත් ඇමරිකානුවන්ට වඩා වාසි ලබාගත්තේ ධනවත් ඇමරිකානුවන් ය.

මේ අතර ඩිමොක්‍රටික් බලය වැඩිපුර පෙන්වූ ජනපදවල බදු ඉහළ යාමක් ද පෙන්නුම් කළේ, ජනපදය විසින් පැනවූ ඉහළ සීමාවන් හේතුවෙනි. දේපළ සහ ආදයම් බදු සම්බන්ධයෙන් මේ තත්වය කැපී පෙනුණේය.

පැරිස් දේශගුණික සම්මුතිය පිළිබඳ ස්ථාවරය

2016 ට පෙර: ජනපති අපේක්ෂකයා වශයෙන් ට්‍රම්ප් දේශගුණික විපර්යාස ‘බොරුවක්‘ බව කීවේය. එම බොරුව ඇති කළේ චීනය විසින් බව ද කීවේය. තවද පැරිස් සම්මුතියෙන් නියම කරන රෙගුලාසි, ඇමරිකාවේ වර්ධනයට බාධාවක් බව ද පැවසීය.

පසු: මාස 3 ක් මුළුල්ලේ වැසුණු කාමරවල පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ජනපතිවරයා තීරණාත්මක ලෙස පැරිස් සම්මුතියට පිටුපාන්නට තීරණය කළේය. රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා තිබෙන පැරිස් සම්මුතියෙන් ඇමරිකාව ඉවත් කර ගත්තේය. එම ඉවත් වීම නිල වශයෙන් ජනපතිවරණය පැවැත්වූ 2020 නොවැම්බර් 3 වැනිදාට පසු දිනයේ, එනම් 2020 නොවැම්බර් 4 වැනිදා පටන් බල පැවැත්විණි.

අධිකරණයේ හැඩය/ව්‍යූහය වෙනස් කිරීම

2016 ට පෙර: ‘‘මම විනිසුරුවරුන් තෝරනවා. මම ඇත්තටම ඔවුන් අතරින් 20 දෙනෙක් තෝරාගෙන තිබෙනවා. ඔවුන් දෙවැනි සංශෝධනයට ගරු කරන අය ඒ වගේම ඒ වෙනුවෙන් පෙනී සිටින අය..‘‘

පසු: කොන්සවේටිව් විනිසුරුවරුන් පත් කිරීමට ඔහු ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව නීල් ග්‍රොසච් සහ බ්‍රෙට් කැවන්ගා ව ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කෙරිණි.

මේ අතරින් නීල් ග්‍රොසච් පත් කිරීම සඳහා සෙනෙට් රීති ද වෙනස් කළ යුතු විය. නමුත් වඩාත්ම මතභේදාත්මක වූයේ කැවෙන්ගාගේ පත් කිරීමයි. ඔහු ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ චෝදනාවලට ලක් ව සිටි අතර, ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේය.

අවසානයේ 1881 වසරේ පටන් සෙනෙට් සභාව මුහුණ දුන් දැඩිම පරීක්ෂණය යටතේ 50-48 ක් ලෙස ඔහු ව පත් කෙරිණි.

ට්‍රම්ප් තුන්වන වතාවට නාම යෝජනා කළ තැනැත්තිය මේ වන විට ශීර්ෂපාඨ මවමින් තිබේ. ඇය, ඒමි කොනී බැරට් ය. ඇයගේ නාමයෝජනාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය තවමත් සිදුවෙමින් පවතියි. එය රිපබ්ලිකන් බහුතර බලය සහිත සෙනෙට් සභාව විසින් අනුමත කළේ නම්, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මණ්ඩලයේ බහුතරය ඉදිරි දශක කිහිපය සඳහා ම සමන්විත වනු ඇත්තේ කොන්සවේටිව් (ගතානුගතික මතධාරී) විනිසුරුවරුන්ගෙනි. කෙසේ නමුත් 2020 මැතිවරණයට පෙර එම නාමයෝජනාව ස්ථිර කර ගැනීමට ට්‍රම්ප් සමත් වූයේ නැත.

 

ඔබාමා කෙයා – Obamacare ඉවත් කිරීම

2016 ට පෙර: ට්‍රම්ප් සිය ප්‍රධාන මැතිවරණ ප්‍රචාරණ රැළියකදී පැවසුවේ ඔබාමා ජනපතිවරයා විසින් හඳුන්වා දුන් ඔබාමාකෙයා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය ඉවත් කරන බවයි. ඔබාමා මෙය හඳුන්වා දුන්නේ කිසිදු ආකාරයක සෞඛ්‍ය රක්ෂණයකින් ආවරණය නොවන 15%ක් වූ ඇමරිකානුවන් වෙනවෙනි. Affordable Care Act යනුවෙන් එය නිල වශයෙන් හැඳින්විණි.

පසු: රිපබ්ලිකානුවන් මෙයට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සමත් වූයේ නැත. නමුත් ට්‍රම්ප් පරිපාලනය එයට අදාළ ඇතැම් නීති කොටස් ඉවත් කිරීමට සමත් විය.

2018 දෙසැම්බරයේදී ටෙක්සාසයේ ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයෙකු විසින් විනිශ්චය කළේ සම්පූර්ණ ඔබාමාකෙයා සෞඛ්‍ය වැඩසටහනම ආණ්ඩුක්‍රම ව්‍යස්ථා විරෝධී බවයි. නමුත් මෙය තවමත් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවතින ප්‍රශ්නයකි. එහි තීන්දුව ලැබෙන විට ඇතැම්විට වසර 2021 පමණ වනු ඇත.

මෙක්සිකෝ තාප්පය

2016 ට පෙර: ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ සඳහන් කෙරුණු වඩාත්ම මතභේදාත්මක කාරණයක් වූයේ ඇමරිකාවට ඇතුළු වන නීති විරෝධී සංක්‍රමණිකයන් මැඬලීම සඳහා මෙක්සිකානු ඇමරිකානු දේශසීමාවේ තාප්පයක් ඉදිකරන බවයි.

එයින් නොනැවතී එම තාප්පය ඉදිකිරීම සඳහා මුදල් ගෙවිය යුත්තේ මෙක්සිකෝව බව ද ඔහු කීය.

පසු: මෙක්සිකෝව, තමන් එම තාප්පයට ගෙවිය යුතු යැයි ට්‍රම්ප් කී බස බෙහෙවින් විවේචනය කළේය. ට්‍රම්ප් පවා මේ අදහස ටික කාලයකින් අතහැර දැමූ බව පෙනිණි.

ඩිමොක්‍රටික් පක්ෂය දැඩි සේ ට්‍රම්ප්ගේ බස විවේචනය කළේය. මේ අතර, රිපබ්ලිකන් පක්ෂය කීවේ මේ ඉදිකිරීම හරහා තමන්ට ඇ.ඩා. මිලියන 21.5 ක් ලබාගත හැකි බවයි. ඒ බව ඇමරිකාවේ අභ්‍යන්තර විගණන වාර්තාවක ද සඳහන් වේ.

2018 දෙසැම්බරයේදී ඇමරිකානු ආණ්ඩුව ‘ෂට්ඩවුන් තත්වයට‘ පත් වන්නේ ට්‍රම්ප් විසින් එම තාප්පය සෑදීමට ඩොලර් බිලියන 5 ක් ඉල්ලා සිටීමත් සමග ය. ඔහු නැවත නැවතත් කියා සිටියේ ඇමරිකාවේ රාජ්‍ය ආරක්ෂාව සඳහා මෙම තාප්පය අත්‍යාවශ්‍ය බවයි. එසේත් නැතිනම් අවම වශයෙන් තාප්පයේ කොටස් අලුතෙන් ඉදි කළ යුතු බව ඔහු කීවේය. එය නීතිමය ගැටළු ද ඇති කරන තත්වයක් විය.

2019 මැයි මාසය වන විට මෙම තාප්පයේ සැතපුම් 194 ක් ඇමරිකාව ඉදි කර තිබුණේය. නමුත් ඒ, ඒ වන විටත් පැවති දේශසීමා තාප්පයේ කොටස් බෙදාගෙන ය. සම්පූර්ණයෙන්ම අලුතෙන් ඉදි කර තිබුණේ සැතපුම් 3 ක කොටසක් පමණකි.

අයිසිස් සංවිධානය බෝම්බ ගසා වැනසීම

2016 ට පෙර: 2015 නොවැම්බර් මාසයේදී අයෝවා ජනපදයේ කතාවක් පවත්වමින් අනතුර ඇඟවූයේ ඊනියා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදය වැනසීම සඳහා බෝම්බ යොදාගන්නා බව ය.

පසු: ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු ඉතිහාසයේ යොදාගත් විශාලතම න්‍යෂ්ටික නොවන විනාශකාරී බෝම්බය හෙළනු ලැබීය. ඉරාකයේ සහ සිරියාවේ කොටස්වලින් අයිසිස් සංවිධානය පළවා හැරීමේ ගෞරවය ද මේ සමග ට්‍රම්ප් තමන් සතු කර ගනියි. අයිසිස් සංවිධානය ‘විශාල වශයෛන් පරාජය ලැබූ බව‘ ඔහු පවසයි. නමුත් මේ ක්‍රියාවලිය සිදුකරනු ලැබුවේ ට්‍රම්ප් පරිපාලනය යටතේ දියත් කර තිබූ ත්‍රස්තවාදය පැරදවීමේ ක්‍රියාවලිය යටතේම ය. පසුගිය වසරේදී අයිසිස් නායක අබු බකර්-අල් බග්දාදි, ඇමරිකානු කොමාන්ඩෝ භටයන්ගේ ප්‍රහාරයක් හමුවේ සිය දිවි හානි කර ගත්තේය.

ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙනත් තැනකට

2016 ට පෙර: සිය මැතිවරණ ප්‍රචාරණයේදී ට්‍රම්ප් පැවසුවේ ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවරින් එම තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යන බවයි. ජෙරුසලම ඊශ්‍රායල්-පලස්තීන ගැටළුවේ සන්ධිස්ථානයක් සහ, අතිශය සංවේදී කලාපයක් වන හෙයින් මේ තීරණය දැඩි විවේචනයට ලක් විය.

පසු: 2017 දී ඔහු පැවසුවේ තමන් විසින් ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් පිළිගත් බවයි. ඒ අනුව ඊශ්‍රායලයේ ඇමරිකානු තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යාමට නියම කළේය. 2018 මැයි මාසයේදී එය විවෘත කරනු ලැබුවේ ඊශ්‍රායලයේ 70 වන සංවත්සරයට සමගාමීව ය. ජෙරුසලමේ නිත්‍ය ඇමරිකානු තානාපති කාර්යාලයක් ඉදි කිරීමේ යෝජනාව 2019 දී සම්මත කෙරිණි.

හමුදා වැය කපා හැරීම

2016 ට පෙර: ‘‘දැන් තියෙන හමුදාවට වඩා ගොඩක් ශක්තිමක් හමුදාවක් මම හදනවා. කිසිම කෙනෙක් ඒකට අත තියන එකක් නැහැ.‘‘ ට්‍රම්ප් 2015 ඔක්තෝබරයේදී සිය ප්‍රචාරණ වැඩපිළිවෙළ අතරතුර පැවසීය.

2013 වසරේදී ඔබාමා විසින් සිදුකළ ආරක්ෂක අයවැය කපා හැරීම නතර කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නේය.

පසු: ට්‍රම්ප්ගේ ජනපති නිල කාලය තුළ ඇමරිකාවේ ආරක්ෂක අයවැය බෙහෙවින් ඉහළ ගොස් තිබේ. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ ප්‍රස්ථාරයකි.

මෙම වැය පාර්ශවය 2002 වසරේදී බෙහෙවින් ඉහළ යාමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ඇමරිකාව එක්සත් ජනපදය විසින් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ හමුදා මෙහෙයුම් තීව්‍ර කිරීමයි. එය 2010 වසරේදී ඇමරිකාවේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමට ද හේතු විය. පසුව ඔබාමා, මැදපෙරදිග සහ මධ්‍යම ආසියාවේ හමුදා මෙහෙයුම් සඳහා වන වැය කපා හැරීමට තීරණය කර තිබිණි.

ෆෙඩරල් රීති ලිහිල් කිරීම

2016 ට පෙර: ‘‘ඒකෙන් වෙන්නෙ ව්‍යාපාර වර්ධනය වීම අඩාල වීම‘‘ යැයි ඔහු නිව් හැම්ප්ෂයර් හි ජන රැළියක් අමතමින් කියා තිබිණි. මේ ප්‍රකාශයෙන් පසුව ට්‍රම්ප්ට බොහෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද, මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ද සහාය හිමිවිය. එය ඔහුගේ ජයග්‍රහණයට ද බෙහෙවින් හේතු විය.

පසු: ශ්‍රම ක්ෂේත්‍රෙය් සිට පාරිසරික ක්ෂේත්‍රය දක්වා ව්‍යාපාර සඳහා අවශ්‍ය කරන ෆෙඩරල් රීති ලිහිල් කිරිමට ට්‍රම්ප් කටයුතු කළේය.

2020 ජනවාරි මාසයේදී ඔහු කොතරම් දුරදිග ගියාදැයි කියන්නේ නම්, තෙත්බිම් සහ ඇළදොළ සම්බන්ධයෙන් පනවා තිබූ රෙගුලාසි ද ඉවත් කර දැමුවේය. ජූලි මාසයේදී ඔහු පැවසුවේ, යටිතල පහසුකම් ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඇමරිකාවේ ජාතික පාරිසරික ආරක්ෂණ පනතේ විධිවිධාන වෙනස් කරන බවයි. විශේෂයෙන්ම මේ පොරොන්දු ඉටු කිරීමේදී ඔහු මුල් තැන දුන්නේ පරිසරයට නොවේ.

විදේශගත ඇමරිකානු හමුදාව සිය රට ගෙන්වීම

2016 ට පෙර: ඇමරිකාවේ මැද පෙරදිග මෙහෙයුම් කිසිදු පලක් නැති බව කියූ ට්‍රම්ප්, ඒ සඳහා වැය වූ ඩොලර් ට්‍රිලියන ගණනින් රට සංවර්ධනය කළ හැකිව තිබූ බව පැවසීය.

මෙසේ විදේශගත ඇමරිකානු හමුදාව සිය රට ට ගෙන්වීමේ පොරොන්දුව ද 2016 දී ඔහු වෙත ජනතා ආකර්ෂණය ඇති වීමට බෙහෙවින් බලපෑවේය. ඇමරිකාව සිරියානු යුද්ධයෙන් ඉවත් වී සිටිය යුතු බව ද ට්‍රම්ප් පැවසුවේය.

පසු: මෙය අර්ධ වශයෙන් ඉටු කළ පොරොන්දුවකි.

2017 සැප්තැම්බරයේදී ට්‍රම්ප් පරිපාලනය නිවේදනය කළේ ඇෆ්ගනිස්ථානයට භටයන් 3000 ක් අතිරේක ලෙස යොදවන්නට ය. සිරියාවේදී කුර්දි ගරිල්ලන් සහ අරාබි සටන්කරුවන් සමග එක්ව අයිසිස් සංවිධානයට එරෙහිව ඇමරිකාව නව සටන් දියත් කළේය. ඒ අනුව සිරියාවට ද අලුතෙන් භටයන් 2000 ක් පමණ යවන ලදී.

2018 දෙසැම්බරයේදී ට්‍රම්ප්, සියලු ඇමරිකානු භටයන් සිරියාවෙන් ඉවත් කර ගත යුතු බවට නියෝග කළේය. කෙසේ නමුත් භටයන් 500 ක් පමණ තවමත් එහි රැඳී සිටියි. සිරියාවේ ඇමරිකානුභටයන් අඩු කිරීම ඔහුගේ ආරක්ෂක ලේකම් වූ ජේම්ස් මැටිස්ගේ ද විවේචනයට ලක් විය.

වසන්ත හා ගිම්හාන සෘතු තුළදී මේ වසරේ ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමරිකානු භටයන් සංඛ්‍යාව 13,000 සිට 8,600 දක්වා අඩු කර තිබේ.

2020 පෙබරවාරියේදී නේටෝ සංවිධානය සහ ඇමරිකාවට හිතවාදී සන්ධානය එකඟ වූයේ තලෙයිබාන් සංවිධානය නව සාම ගිවිසුමට අනුගත වේ නම්, ඇෆ්ගනිස්ථානයේ සිටින සියලු ඇමරිකානු භටයන් සිය රට ගෙන්වන්නට ය.

වෙළඳ ගිවිසුම්

2016 ට පෙර: නැෆ්ටා ගිවිසුම (Nafta) ‘විපතක්‘ බව ට්‍රම්ප් පැවසුවේ  TPP ගිවිසුම ද “නරක අතට හැරෙන්ට පෙර නතර කළ යුතු බව‘‘ කියමිනි. චීනය සමග පවතින වෙළඳ හිඟය නිවැරදි කරන බව ද ඔහු කීවේය. නමුත් මේවා ඉටු කෙරුණේ අඩ වශයෙනි.

පසු: Trans Pacific Partnership හෙවත් TPP ගිවිසුම පිළිබඳ ලබා දී තිබූ පොරොන්දුව ඉටු කිරීමට ට්‍රම්ප් මුල් දින කිහිපය ඇතුළත කටයුතු කළේය. පසුව ඔහු කීවේ හොඳ කොන්දේසි පවතිනවා නම් TPP වෙත නැවතත් යාමට සූදානම් බවයි.

නොවැම්බර් 30 වැනිදා ඇමරිකාව-කැනඩාව සහ මෙක්සිකෝව විසින් ‘ඇමරිකානු-කැනඩා-මෙක්සිකෝ හවුල් ගිවිසුම‘ අත්සන් කෙරිණි. එමගින් නැෆ්ටා ගිවිසුම ප්‍රතිස්ථාපනය විය. කෙසේ වෙතත්, කැනඩාව වෙත පනවා තිබූ ඇලුමිනියම් බද්ද මේ සමග ට්‍රම්ප් නැවත පැනවූයේ ඔටාවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරමිනි.

ඇමරිකාව සහ දකුණු කොරියාව ද 2018 සැප්තැම්බරයේදී සිය වෙළඳ ගිවිසුම නැවත සලකා බැලීමක් කළේය.

මේ අතර ඇමරිකාව, චීනය සමග දරුණු වාණිජ ගැටුමක් ඇති කර ගත්තේය. දෙපාර්ශවයම ඩොලර් බිලියන ගණන් වටිනා භාණ්ඩ මත නව බදු පැනවීම සිදු කළය. මෙය සමථයකට පත් කරනු පිණිස ‘පළමු අදියරේ වෙළඳ ගිවිසුම‘ යනුවෙන් 2020 මුල භාගයේදී ඇමරිකාව සහ චීනය නව ගිවිසුමකට ඇතුළත් විය.

මුස්ලිම්වරුන් ව තහනම් කිරීම

2016 ට පෙර: ට්‍රම්ප් මුලින් ලබා දී තිබූ ප්‍රතිඥාව වූයේ ‘ඇමරිකාවට මුස්ලිම් ජනයා ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව‘ ය. ‘සිදුවන්නේ කුමක්දැයි‘ ඇමරිකානු පරිපාලනය විසින් සොයාගන්නා තෙක්ම මෙම තහනම බලපැවැත්වෙන බව ද පැවසිණි.

නමුත් රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනාව දිනාගැනීමෙන් පසු ඔහු පැවසුවේ ‘‘අතිශය නිෂේදනයට‘ ලක් කරන බව මිස සම්පූර්ණයෙන් තහනම් කරන කතාව නොවේ.

පසු: ජනපති බවට පත් වූ පසුව ට්‍රම්ප්, මුස්ලිම්වරුන්ට ‘ගමන් තහනම්‘ 2 ක් ප්‍රකාශයට පත් කළ අතර ඒවා අධිකරණයේදී අභියෝගයට ද ලක්විය. පළමු දෙක අසාර්ථක වූ නමුත් තෙවැන්න සාර්ථක විය. ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ට්‍රම්ප් රටවල් 6ක වැසියන්ට ඇමරිකාවට ඇතුල්වීම වළක්වමින් කළ නියෝගය පූර්ණ වශයෙන් බලාත්මක බවයි.

මේ අනුව ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව, යේමනය, වෙනිසියුලාව සහ උතුරු කොරියාවේ පුරවැසියන්ට ඇමරිකා එක්සත් ජනපදය තහනම් විය.

2020 ජනවාරියේදී ඇමරිකාව නිවේදනය කළේ මේ තහනම තවත් රටවල් 06 ක් දක්වා දීර්ඝ වන බවයි.

ඒ අනුව නයිජීරියාව, එරිත්‍රියාව, සුඩානය, ටැන්සානියාව, කිර්ගිස්ථානය සහ මියැන්මාරයේ පුරවැසියන්ට ද ඇමරිකාව තහනම් විය. එම රටවල පුරවැසියන්ට කිසිදු තත්වයක් තුළ කිසිදු වර්ගයක වීසා ලබාගැනීමට නොහැකි ය.

කියුබාව

2016 ට පෙර: 2016 සැප්තැම්බරයේ ට්‍රම්ප් පැවසුවේ කියුබාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ඇරඹීමට සහ දියුණු කිරීමට ඔබාමා ගත් තීරණය ආපස්සට හරවන බවයි.

පසු: ජනපති වීමෙන් අනතුරුව මයාමි හිදී පිරිසක් අමතමින් ට්‍රම්ප් පැවසුවේ ‘‘ඔබාමා පරිපාලනයේ ඒක පාර්ශවික ඩීල් එක අහෝසි කරන බව‘ යි. 

2017 දී ට්‍රම්ප් කියුබාවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික සීමාවන් නැවත පැනවීය. කෙසේ නමුත් හවානා හි ඇමරිකානු තානාපති කාර්යාලය තවදුරටත් තබාගත්තේ, තානාපතිවරයෙකු නම් නොකරමිනි.

පසුගිය වසරේදී ඇමරිකානු පුරවැසි කණ්ඩායම්වලට නෞකාවලින් පවා කියුබාවට යාම තහනම් කිරීමට ට්‍රම්ප් කටයුතු කළේය.

එතැන් පටන් ඇමරිකාව සහ කියුබාව අතර සංචාරක සබඳතා සම්පූර්ණයෙන්ම බිඳී ගියේය. නමුත් ‘ජනතාව අතර සංචාර‘ යනුවෙන් සංවිධානාත්මක ලෙස ඇමරිකානුවන් කියුබාවට යාම සඳහා අවසරය ලබා දීම ද සිදුවිය.

2020 ඔක්තෝබරයේදී ඇමරිකානු පරිපාලනය තවදුරටත් කියුබාවට සීමා පැනවූයේ ඇමරිකාව සහ කියුබාව අතර සිදුවන සියලු පුද්ගලික ගුවන් ගමන් තහනම් බව පවසමිනි. මේ අනුව හවානා වෙත දැඩි ආර්ථික පීඩනයක් ද එල්ල කිරීම සිදුවිය. ඔක්තෝබර් 13 සිට මේ තහනම බලපැවැත්වේ.

මුදල් ඒකකය චීනය විසින් මෙහෙයවීම අවසන් කිරීම

2016 ට පෙර: ට්‍රම්ප් දිගින් දිගටම කියා සිටියේ චීනය යනු මුදල් ඒකකයේ අගය තමන්ට අවශ්‍ය පරිදි මෙහෙයවමින් සිටින්නෙක් බව හෙවත් “currency manipulator” කෙනෙකු බව ය. ආසියාවේ බලාගාරය ඇමරිකාව ‘දූෂණය කරමින් සිටින්නේ‘ යැයි ධුරයේ වැඩ භාරගත් පළමු දින කිහිපයේදී ඔහු කීවේය. යුවාන් මිල පාලනය මගින් ඇමරිකානු භාණ්ඩ වැඩි වැඩියෙන් චීනයට අඩු මිලට ගෙන යන බව ට ද චෝදනා කළේය.

පසු: 2019 අගෝස්තුවේදී ඇමරිකාව නිල වශයෙන් චීනය විසින් මුදල් ඒකකය හිතුමතේට පාලනය කරන්නෙකු යැයි ප්‍රකාශ කළේය. විනිමය අනුපාතිකය වෙනස් කිරීම මත ඇමරිකානු ඩොලරය ‘අසාධාරණ තරගයකට ලක් කරන බවත් අන්තර්ජාතික වෙළඳපොළේදී මෙය බෙහෙවින් බලපාන බවත් ට්‍රම්ප් පරිපාලනය පැවසුවේය.

නමුත් ජනවාරියේදී ඇමරිකාව චීනය සම්බන්ධයෙන් සිය තීරණය ආප්සසට හැරවූයේය. එයට හේතුව වූයේ, යුවානයේ අගය අවප්‍රමාණය කිරීම මගින් විදේශ ගැනුම්කරුවන්ට අඩු මිලට භාණ්ඩ සැපයීමට චීනය තීරණය කිරීමයි.

ජාතික ණය

2016 ට පෙර: ‘‘මම වෝල්ස්ට්‍රීට් ගැන හැමෝටම වඩා හොඳට දන්නවා..‘ යැයි ට්‍රම්ප් 2016 වසරේදී වොෂින්ටන් පෝස්ට් පුවත්පත සමග කීය. තවද ඇමරිකාවේ එවකට ජාතික ණය වූ ඩොලර් ට්‍රිලියන 19,  ‘වසර 8 ක් ඇතුළත අවසන් කරන බව ද කීවේය.

පසු: වසර 8කින් භාගයක් එනම් වසර 4 ක් ගත වන විට ඇමරිකාවේ ජාතික ණය, එමෙන් 1/3 කින් වැඩි වී තිබේ. ඒ අනුව 2020 ඔක්තෝබරය වන විට එය ඩොලර් ට්‍රිලියන 27 ක් දක්වා වැඩි විය. 2017 වසරේදී ට්‍රම්ප් විසින් ජාතික ණය වල ඉහළ සීමාව වැඩි කළේ, 2019 ජූලි මාසයේදී එය අත්හිටුවන තෙක් ය.

මෙම ඇමරිකාවේ ජාතික ණය කන්දරාව, කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇති ව තිබෙන බලපෑමට ද වඩා ආර්ථිකයට බලපෑම් සහගත වනු ඇතැයි විශ්වාස කෙරේ.

සියලු නීති විරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම

2016 ට පෙර: ට්‍රම්ප් දිගින් දිගටම සිය ආධාර කරුවන් අමතා පැවසුවේ සෑම නීත්‍යානුකූල ලේඛන රහිත සංක්‍රමණිකයෙකුම ‘ආපසු යා යුතු බව‘ යි. ඔවුන්ගේ ප්‍රමාණය මිලියන 11.3 ක් විය.=

පසු: 2016 ජනාධිපතිවරණ දිනය පැමිණෙන විට ඔහුගේ ස්ථාවරය මදක් ලිහිල් වී තිබිණි. මැතිවරණයට පසුව ඔහු කීවේ ‘‘අපරාධකරුවන් ලෙස වාර්තා වී සිටින අය, අපරාධ කල්ලිවල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය වෙළෙන්දන්‘ මිලියන 2-3 අතර ප්‍රමාණයක් සිය රටවල් වෙතට යවන බව ය.

2019 මූල්‍ය වර්ෂය තුළ මේ අන්දමින් පිටුවහල් කළ පිරිස 267,000 ක් විය. එය පෙර වර්ෂයට වඩා මදක් වැඩිවීමකි. නමුත් සත්‍ය වශයෙන්ම 2012 වසරේදී ඔබාමා පාලනනය යටතේ මෙවැනි අය 410,000 ක් දෙනෙකු සිය රටවල් බලා ආපසු යවා තිබේ.

මේ අතර ට්‍රම්ප්ගේ සංක්‍රමණ ප්‍රතිසංස්කරණ පනත වූ Deferred Action for Childhood Arrivals (Daca) 2020 ගිම්හානයේදී අධිකරණය විසින් නීති විරෝධී බව සනාථ කළේය. ඒ අනුව දරුවන් වශයෙන් ඇමරිකාවට එන 650,000 කගේ පිරිසක් පිටුවහල් කිරිමට ගෙන තිබූ තීරණය නතර විය.

නේටෝවෙන් ඉවත් වීම

2016 ට පෙර: ට්‍රම්ප් නේටෝ හමුදාවේ අරමුණ දිගින් දිගටම ප්‍රශ්න කළේය. එහිදී ඔහු නැගූ එක් ප්‍රශ්නයක් වූයේ නේටෝ හමුදා සාමාජිකයන් නිකං ඉඳීම නිසා ඔවුන්ගේ ‘බර වැඩිවන‘ බව යි. තවද ඔවුන්ගේ බිල් /වියදම් ගෙවීමට ඇමරිකාවට සිදුව ඇති බව ද පැවසීය. 2016 ජූලි මස නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග ඔහු කීවේ, ‘‘රුසියාව ආක්‍රමණය කළ සාමාජිකයෙකුගේ උපකාරයට ඒමට තමන්ට අවශ්‍ය නැති බව‘ යි!

After: නමුත් 2018 අප්‍රේල් මාසයේදී නේටෝවේ මහලේකම්වරයා ධවල මන්දිරයේදී පිළිගත්තේය. ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් නේටෝවේ වැදගත්කම පිරිහී ඇති බව කීවේය.

2018 ජූලි මාසයේදී ට්‍රම්ප් නැවත වරක් නේටෝ සමුළුවට සිය සහාය පළ කළේය. නමුත් සිය අයවැය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් නේටෝවෙන් ඉවත් වන බව ද කීවේය.

නේටෝවට කැනඩාව සහ යුරෝපියානු සාමාජික රටවල් ප්‍රමාණවත් පරිදි අරමුදල් වෙන් නොකරන බව ට ද චෝදනා කළේ ය. ඇමරිකාව ජර්මනියේ රඳවා සිටින නේටෝ භටයන් 12,000 ක් සිය රට ගෙන්වන බවට මේ වන විට අනතුරු අඟවා තිබේ.

වධ හිංසාව නීතිගත කිරීම

2016 ට පෙර: වෝටර්බෝඩිං හෙවත් සැකකරුවන්ගේ මුහුණට දිගු වේලාවක් ජලය වත් කිරීම ‘වහාම ක්‍රියාත්මක වන පරිදි‘ අනුමත කරන බව කීවේ ‘වධහිංසාව වැඩ කරනවා‘ යැයි ද එය අනුමත කරමිනි.

පසු: නමුත් ධුරය භාරගැනීමෙන් පසුව ජනපතිවරයා කීවේ තමන් එම විශ්වාසයෙන් මිදුණු බවයි. පොම්පියෝ පසුව සීඅයිඒ සංවිධානය අමතමින් කීවේ කිසිදු ආකාරයකින් එම උපායන් අපරාධ මර්දනයට යොදානොගත යුතු බවයි.

හිලරි ක්ලින්ටන් හිරේ යැවීම

2016 ට පෙර: “Lock her up” – ඇයව හිරේ දාපල්ලා‘ යන්න ට්‍රම්ප් ආධාරකරුවන් නිතර කියූ සටන් පාඨයක් විය.

රාජ්‍ය ලේකම් ව සිටි අවධියේ (ඔබාමා සමයේදී) පුද්ගලික ඊ මේල් සර්වරය ඇය විසින් භාවිතා කිරීම මෙම ආන්දෝලනයට හේතු විය.

ට්‍රම්ප් තරයේ කියා සිටියේ ඇයව නඩු විභාගයකට ලක් කළ යුතු බවයි. විවාදවලදී ඔහු හිලරිගේ මුහුණටම මෙසේ කීවේය. ‘‘මම දිනුවොත්, ඔහේ ගැන බලාගන්න විශේෂ අභිචෝදකයෙක් පත් කරන්න කියල මම මගෙ නීතිපතිවරයාට කියනවා..‘‘

පසු: ජනපති වූ වහාම ට්‍රම්ප් මේ ගැන කතා කළ විලාසය වෙනස් විය. ඇය හැඳින්වීමට “such a nasty woman” සහ ‘රටට කෘතඥතාවයෙන් ණයගැති කාන්තාවක්‘ වැනි යෙදුම් ඔහු භාවිතා කළේය. පසුව ඔහු කීවේ ඇයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීම ගැන වැඩිදුර සිතා නැති බවයි.

2016 නොවැම්බරයේදී ට්‍රම්ප්ගේ ප්‍රකාශිකාව පැවසුවේ හිලරි ට එරෙහිව වැඩිදුර විමර්ශන පැවැත්වීමේ අදහස අත්හැරගෙන ඇති බවයි.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න

#uselection2020

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි