×

අර්කරි ගැටළුවේදී බොරිස් ජොන්සන් නීතිය මඟහරින්නේ පුද්ගලික පලහිලව්වක් නිසා ද?

තම පෞද්ගලික ජීවිතයේ පවතින සබඳතාවන් පිළිබඳ සොයා බැලීම කිසිවකුටත් අයිති නොවන දෙයක් බව අර්කරි මෙනවිය අවධාරණය කළාය. 


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා ඔහු 2008 – 2016 කාලය තුළ ලන්ඩනයේ නගරාධිපති ධුරය හෙබවූ කාලසීමාවේදී බලය අවභාවිත කළේ යැයි ගොනුවූ චෝදනා සම්බන්ධයෙන් සිදුවන පොලිස් විමර්ශන කටයුතු වලට සහභාගී නොවන බවට සඳහන් වේ.

ඔහුට විරුද්ධව ගොනුවූ චෝදනාව වන්නේ සිය නගරාධිපති ධුරයේ බලය යොදාගනිමින් ජෙනිෆර් අර්කරි නම් ඇමරිකානු ජාතික ව්‍යාපාරික කාන්තාවට විවිධ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කිරීමයි.

අර්කරි මෙනවිය හා ජොන්සන් මහතා අතර පැවති සබඳතාව පිළිබඳ විවිධ අර්තකථන ගොඩනැඟී තිබූ අතර, සිය නගරාධිලපති ධුරය හෙබවූ කාලසීමාව තුළ පවුම් 125,000 කට අධික මහජන මුදලක් ඈට ලබාදීම හා විදේශීය වෙළඳ දූත මණ්ඩල සඳහා වරප්‍රසාද ලබා දී ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී තිබිණි.

මෙම අනාවරණයෙන් පසුව විවිධ මට්ටමින් විමර්ශන කටයුතු තවදුරටත් සිදුවිණි.

මෙහිදී ගොඩනැඟුණු එක් උපකල්පනයක් වනුයේ බොරිස් ජොන්සන් මහතා හා ජෙනිෆර් අර්කරි මෙනවිය අතර පෞද්ගලික සබඳතාවක් පවතින්නට ඇති බවයි.

ද ඉන්ඩිපෙන්ඩන්ට් ඔෆිස් ෆෝර් පොලිස් කොන්ඩක්ට් (IOPC) නම් ස්වාධීන පොලිස් විමර්ශන කාර්යාලය විසින් මේ පිළිබඳ සිදුකළ විමර්ශන වල සොයාගැනීම් ප්‍රකාශයට පත් කොට තිබේ.

මීට ඉහත දී බොරිස් ජොන්සන් මහතා මාධ්‍ය වෙත පවසා තිබුණේ, ඈ සමඟ සිදුවූ සෑම කටයුත්තක්ම පූර්ණ හිමිකාරීත්වයක් මත සිදුවූ දෑ බවයි.

මීට අමතරව, ජොන්සන් මහතා ට විරුද්ධව ගොනු කර ඇති චෝදනා දේශපාලන බල උවමනාවන් මත ගොඩනඟන ලද ඒවා බවට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කොට තිබිණි.

බොරිස් ජොන්සන් මහතා සිය අග්‍රාමාත්‍ය ධුරය හෙබවීමට නුසුදුසුය යන මතය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙසේ අසත්‍ය හා පදනම් විරහිත චෝදනා ගොඩනැඟීම පොලිසියේ කාලය නාස්ති කර දැමීමක් බවද අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍යප්‍රකාශකවරයකු පවසා තිබිණි.

අර්කරි මෙනවිය වෙත ලබා දී තිබූයේ යැයි පැවසෙන පවුම් 100,000 ක මුදලක් නීත්‍යානුකූල බව ද පසුගිය වසරේ රාජ්‍ය විගණකාධිවරුන් පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අර්කරි මෙනවිය අවධාරණය කර තිබුණේ, තමා වෙත ලැබුණු සෑම අරමුදලක්ම නීත්‍යානුකූල ව්‍යාපාරික කාන්තාවක් වශයෙන් ඇගේ ව්‍යාපාර සහ වෙළඳ ධූත කටයුතු සඳහා ලබා දුන් පිරිසිදු අරමුදල් බවත්, බොරිස් ජොන්සන් මහතා කිසිවිටක තමා හට පෞද්ගලික මට්ටමින් උපකාර සිදුකර නොමැති බවත් ය.

මීට අමතරව, තමා සහ ජොන්සන් මහතා අතර පෞද්ගලික සබඳතාවක් පැවතියේ දැයි මතු කළ ප්‍රශ්ණයට පිළිතුරු සැපයීම ඈ ප්‍රතික්ෂේප කළාය.

තම පෞද්ගලික ජීවිතයේ පවතින සබඳතාවන් පිළිබඳ සොයා බැලීම කිසිවකුටත් අයිති නොවන දෙයක් බව ද ඈ අවධාරණය කළාය.

මේ වන විටත් බොරිස් ජොන්සන් මහතා හෝ ජෙනිෆර් අර්කරි මෙනවිය එකිනෙකා අතර ප්‍රේම සබඳතාවක් පැවතියේ හෝ නොපැවතියේ ද යන්න පිළිබඳ ස්ථිර ප්‍රකාශයක් ලබා දී නොමැත.

කෙසේවෙතත්, පොලිස් වාර්තාවල සඳහන් පළමු සාක්ෂිකරු (Witness A) ගේ ප්‍රකාශය අනුව ජොන්සන් සහ අර්කරි අතර ලිංගික සබඳතාවක් පැවති බවට අර්කරි මෙනවිය විමර්ශන වලදී සඳහන් කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් IOPC ස්වාධීන පොලිස් විමර්ශන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් මයිකල් ලොක්වුඩ් මහතා පවසා සිටියේ රාජ්‍ය කාර්යාලය තුළ විෂමාචාරයේ සාපරාධී වරදක් සිදුවී ඇත්දැයි සැක පළ කිරීමට සාධාරණ හේතු තිබේද  යන්න පිළිබඳ සිදුකළ විමර්ශනයන් ඉතාම ගැඹුරු, ස්වාධීන හා අපක්ෂපාතී තක්සේරුවක් මත සිදුකළ බවයි.

අර්කරි මෙනවියට කිසියම් අනුග්‍රාහක මුදලක් ගෙවීමට ජොන්සන් මහතා ඉදිරිපත් වූ බවට, හෝ වෙළඳ දූත මණ්ඩල වලට ඈ සහභාගී කරවීමට ජොන්සන් මහතා සක්‍රිය ලෙස දායක වූ බවට තහවුරු කරන කිසිදු සාක්ෂියක් ඔවුනට හමු නොවූ බවට ලොක්වුඩ් මහතා අවධාරණය කළේය.

එහෙත්, දෙපළ අතර පැවති සමීප සබඳතාව තුළින් බැඳියා පිළිගැටුමක් (conflict of interest) හට ගෙන තිබෙන්නේ යැයි බොරිස් ජොන්සන් මහතා පිළිගන්නේ නම් එය ඉතාම නුවණට හුරු බව ද IOPC කාර්යාලය ප්‍රකාශ කළේය.

මීට අමතරව, අර්කරි මෙනවිය ගේ වෙළඳ දූත මෙහෙයුම් සඳහා මහජන මුදල් ලබා දීමට රාජ්‍ය නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබීම දෙපළ අතර පැවති සමීප සබඳතාවේ ප්‍රතිඵලයක් විය හැකි බව ද IOPC කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කළේය.

එමෙන්ම, අර්කරි මෙනවිය නිව්යෝර්ක් හි පැවති වෙළඳ දූත මෙහෙවරක් සඳහා සහභාගී වූවන්ගේ ලැයිස්තුවේ සිටින බව ජොන්සන් මහතා දැන සිටි බවට තහවුරු කරන “ඇතැම් සාක්ෂි” ලැබී ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබේ.

බොරිස් ජොන්සන් මහතා ට විරුද්ධව ගොනුකළ චෝදනා IOPC වෙත යොමුකර තිබෙන්නේ ලන්ඩන් මහ අධිකාරිය (Greater London Authority) විසින් ය. ඒ පසුගිය සැප්තැම්බර් මසදී ය.

ලන්ඩන් නුවර හිටපු නගරාධිපතිවරයා වශයෙන්, ජොන්සන් මහතා පොලිස් හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ප්‍රධානී තනතුර ද දැරූ අතර, මෙම තනතුර පොලිස් හා අපරාධ කොමසාරිස්වරයකුට සමාන තනතුරක් ලෙස සැලකේ.

එකී තත්ත්වය මත, ධුරයේ හෙබවූ තැනැත්තා විසින් ඕනෑම අන්දමේ අපරාධ වරදක් සිදුකර තිබෙන්නේ දැයි විමර්ශනය කිරීමේ වගකීම IOPC වෙත නිරායාසයෙන් ම පැවරේ. එම විමර්ශන කෙරේ අදාළ පුද්ගලයා වර්තමානයේ එම ධුරය හොබවන්නේ ද නැත් ද යන්න අදාළ නොවේ.‍

ජොන්සන් – අර්කරි ගැටළුව පිළිබඳ IOPC කාර්යාලය විසින් සිදුකළ හෙලිදරව්ව මත, මේ පිළිබද විමර්ශන කටයුතු දිගටම සිදුවනු ඇති බවට ලන්ඩන් මහ අධිකාරියේ ලන්ඩන් සමුළුව (London Assembly) විසින් ප්‍රකාශ කොට තිබේ.

එම විමර්ශන මේ වන තුරු පැවැත්වීම තාවකාලික ව නවතා දමා තිබුණේ ස්වාධීන පොලිස් විමර්ශන කාර්යාලයේ ඉල්ලීම මත ය.

මීට අමතරව එම කාර්යාලය අවධාරණය කර සිටියේ, බොරිස් ජොන්සන් මහතා සිය ධුරය හෙබවූ කාලසීමාව තුළ අර්කරි මෙනවිය සමඟ පැවති සබඳතාව පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් ලබාදීමට අසමත් වීම තුළින් චර්යාධර්ම සංග්‍රහාය උල්ලංඝනය කර තිබෙන්නේ දැයි ලන්ඩන් මහ අධිකාරිය විසින් තීරණය කළ යුතු බවයි.

නගරාධිපතිවරයකු ගේ බලතල පිළිබඳ තීන්දුතීරණ ගැනීමේ බලතල ලන්ඩන් මහ අධිකාරිය වෙත හිමිවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි