×

මැරඩෝනා සමුගෙන යයි

පාපන්දු ලෝකයේ ශ්‍රේෂ්ඨතමයා වූ ඩියගෝ මැරඩෝනා මෙලොවින් සමුගෙන ගොස් තිබේ.


වයස අවුරුදු 60 ක් වූ මැරඩෝනාගේ මරණයට හේතුව හෘදයාබාධයකි.

ඔහු ආර්ජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් හි පිහිටි සිය නිවසේදී හෘදයාබාධයකට ගොදුරු වී ඇත.

මෙයට සති දෙකකට පෙර ඔහු මොළයේ ලේ කැටියක් සිරවීමේ ශල්‍යකර්මයකට ද භාජනය විය. මත්පැන්වලට ඇබ්බැහි වීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලැබීමට ඔහු නියමිත ව සිටි බව ද කියැවේ.

1986 වසරේ ආර්ජන්ටිනාව පාපන්දු ලෝක කුසලානය දිනා ගන්නා විට එම පාපන්දු කණ්ඩායමේ නායකයා වූ මැරඩෝනා එයින් පසු ලෝක පුජිත විය.

ආර්ජන්ටිනා ජනපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් මැරඩෝනා වෙනුවෙන් දින 3 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.

‘‘ඔබ අපව ලෝකයේ ඉහළටම ගෙන ගියා. ඔබ අපව මහත් සේ ප්‍රීතියට පත් කළා. ඔබ සියලු දෙනා අතරින් ශ්‍රේෂ්ඨයායි‘‘ යැයි ද ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් පැවසීය.

ආර්ජන්ටිනාව වෙනුවෙන් ලෝක කුසලාන 4 ක් සඳහා තරග වදිමින් මැරඩෝනා ගෝල 34 ක් රැස් කර තිබේ.

සිය වෘත්තීය ජීවිතයේ දෙවැනි භාගයේදී කොකේන් ඇබ්බැහියෙන් පීඩා විඳි ඔහු, 1991 වසරේදී තහනම් උත්තේජක පරීක්ෂාව අසමත් වීම නිසා මාස 15 ක තරග තහනමක් ද අත්දුටුවේය.

සිය 37 වැනි උපන්දිනය දවසේ, 1997 වසරේදී වෘත්තිමය වශයෙන් පාපන්දු ක්‍රීඩාවෙන් ඔහු සමුගත්තේය.

පසුව 2008 වසරේදී ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු ලෙස ඔහු නැවත එක් විය. 2010 ලෝක කුසලානයේදී ජර්මනිය විසින් අර්ධ අවසන් පූර්ව තරගයේදී ආර්ජන්ටිනාව පරාජය කිරීමෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය. පසුව එක්සත් අරාබි එමීර් සහ මෙක්සිකෝවේ පාපන්දු කණ්ඩායම් පුහුණු කිරීමේ කටයුතුවල නියැළුණු ඔහු, මිය යන විට ආර්ජන්ටිනාවේ ඉහළ පෙළේ ජිම්නාසියමක ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.

‘‘කොතරම් දුක්බර පුවතක්ද? මට ශ්‍රේෂ්ඨ මිත්‍රෙයක් අහිමි වුණා. ලෝකයට විශිෂ්ටයෙක් අහිමි වුණා. බොහෝ දේවල් කිව යුතුයි. නමුත් දැනට,.. දෙවියන් වහන්සේ ඔහුගේ පවුලේ උදවියට ශක්තිය දෙත්වා. එක දවසක.. අපිට අහසේදී හමු වී එකට පාපන්දු සෙල්ලම් කරන්නට පුළුවන් වේවි..‘‘

සමුගන්නට තමන්ගේ ද කාලය පැමිණෙමින් තිබෙන බව නොකියා කියමින් සිය මිත්‍රයා ගැන එසේ ට්විටර් සටහනක් තබා තිබුණේ බ්‍රසීල ජාතික පාපන්දු ශ්‍රේෂ්ඨයා වන පේලේ ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි