×

චීන රණකුමරිය මුලන් ගේ යලි ආගමනය 2020දී!

චීන ජනප්‍රවාදයේ ක්‍රි.ව. 420 හා 589 යන කාලවකවානුව තුළ එරට උතුරු හා දකුණු රාජවංශ වටා ගෙතුණු කතාන්දරයක් වන මුලන් 2020 දී සජීවී චිත්‍රපටයක් ලෙසින්!


ඩිස්නි සමාගම සැමදා ප්‍රේක්ෂක හද දිනා ගත් තම සම්භාව්‍ය කාටුන් කෘති සජීවී චිත්‍රපටකරණය තුළින් යළි ආවර්ජනය කිරීම දැන් වෙනමම කලාවක් බවට පත්ව ඇත. මෑතකදී එළි දැක්වූ ඇලඩින් චිත්‍රපටය ඊට කදිම නිදසුනකි. එමෙන්ම ද ලයන් කිංග් එළඹෙන ජූලි මස 19 වන දින තිරගත වීමට නියමිතය. අරාබි නිසොල්ලාසයේ එන හිඟන කොලුවකු හට මන්ත්‍ර පහණක් හමුවී ධන කුවේරයකු බවට පත්වීම සාර්ථක දෙවන වරටත් ඩිස්නි සමාගම පෙන්වා අවසාන ය. අප්‍රිකාවේ සැවානා වනයේ ප්‍රයිඩ් පර්වතයේ කිරුළු පළඳන සිංහ පැටවා ගේ කතාවද නුදුරේදීම යළි ආවර්ජනය කරනු ඇත. එමෙන්ම මේ දින වල ද ලිට්ල් මර්මේඩ් නම් පුංචි දියකිඳුරියගේ සුරංගනා කතාවද යළි නිමැවමින් පවතින බවට තොරතුරු පළවේ. 

ජූලි 07 වන ඉරු දින (07), එනම් ඊයේ දින, ඩිස්නි සමාගම තම ප්‍රේක්ෂක ජනතාව මතට අතහැර දමන ලද්දේ තවත් කිසිවකුත් නොසිතූ ට්‍රේලරයකි. චීන ජනප්‍රවාදයේ එන තම පවුල රැක ගැනීමට යුධපිටියට වැදි පුංචි රණකුමරිය මුලන් ගේ කතාන්දරය ඩිස්නි සමාගම මුලන් නම් කාටුන් කෘතියක් ලෙස මුල්ම වරට එළි දැක්වූයේ 1998 වර්ෂයේදී ය. එහි ක්‍රිස්ටිනා ඇගියුලේරා විසින් ගායනය කළ Reflection නම් ගීතය එදා මෙන් අදත් බාල මහළු කා අතරත් ප්‍රසිද්ධය. ඩිස්නි සමාගම දැන් සැරසෙන්නේ මුලන් කතාන්දරය සජීවී චිත්‍රපටයක් ලෙස 2020 දී එළි දැක්වීමටය!

චීන ජනප්‍රවාදයේ ක්‍රි.ව. 420 හා 589 යන කාලවකවානුව තුළ එරට උතුරු හා දකුණු රාජවංශ වටා ගෙතුණු කතාන්දරයක් වන මුලන් හි, පැමිණෙන යුධමය වාතාවරණය තුළ සටන් වැදීමට සෑම පවුලකින් ම එක් පිරිමියකු බැගින් චීන හමුදාවට බැඳිය යුතු බවට චීන අධිරාජ්‍යයා කළ නියෝගය මත මුලන් නම් පුංචි දියණිය ජීවත් වූ පවුලේ වයෝවෘද්ධ පියා යුධ පිටියට යාමට සැරසෙයි. ඒ වන විට මුලන් දියණිය නිසි කලවයස පැමිණීමත් සමඟ සරණ පාවා දීමට ඇගේ පවුල සැරසෙන්නේ පවුලේ නඩත්තු කටයුතු දරා ගත නොහැකි වීම නිසාවෙනි. එහෙත්, තම වයොවෘද්ධ පියා යුධ පිටියට යැවීමට සිත් නොදෙන මුලන් දියණිය තනි තීරණයක් ගනු ලබයි. පිරිමියකු ලෙසින් වෙස් ගන්නා මුලන් දියණිය පවුලට සොරා පලා යන්නේ තම පවුල ආරක්ෂා කර ගැනීමට යුධ පිටියට පිවිසෙන අටියෙනි.         

ඩිස්නි සමාගම විසින් ඊයේ දින නිකුත් කළ ට්‍රේලරයේ සජීවී පුද්ගලයන් විසින් රංගනයේ යෙදෙන නවතම මුලන් සිනමා පටය වෙත මූලික ප්‍රවේශයක් ගනු ලබයි. ට්‍රේලරය ආරම්භයේ මුලන් නම් තරුණ යුවතිය අශ්වයකු පිට නැඟී ගමන් කරන අයුරු පෙන්වයි. ඈ තුළ දුක, භීතිය හා තම පවුල රැකගැනීමේ අධිෂ්ඨානශීලී හැඟීම් ප්‍රකාශ වෙයි. එමෙන්ම, මුලන් තම පවුල සමඟ සිටිනා කාලය තුළ ඈ සරණ පාවා දීමට නිවෙසේ උදවිය තීරණය කරන අයුරුද පෙන්වයි. ඒත් සමඟම, යුධ පිටියේ සටන් වැදීමට රණශූරිනියක ලෙස සටන් පුහුණු වන අන්දම ද පෙන්වයි. 

1998 වර්ෂයේ ඩිස්නි සමාගම විසින් මුලන් චීන ජනප්‍රවාදය මුල්ම වරට තිරගත කරනා විට එය ප්‍රචලිත වූයේ චීන ජනප්‍රවාදයට ආලය කරනා, හෝ ඩිස්නි කාටුන් කෘති වලට පෙම් බැඳි එක් ප්‍රජාවක් දෙකක් අතර පමණක් නොවේ. මුලන් කතාන්දරය LGBTIQ ප්‍රජාව අතර ද ප්‍රචලිත වීමට ද සුවිශේෂී හේතුවක් තිබිණ. මන්ද, මෙම කාලවකවානුව වන විට ඇමරිකාවේ LGBTIQ ප්‍රජා අයිතිවාසිකම් පිළිබඳ බොහොමයක් දෙනා කතාබහට ලක්වූ අතර, මුලන් චිත්‍රපටයේ එන මුලන් නම් යුවතිය තම කාන්තා බව, හෝ වනිතා බව, සඟවා ගෙන පිරිමියකු ලෙස පෙනී සිටිමින් පිරිමින් පමණක් සිටි යුධ පිටියට පිවිස සටන් වැදීම සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පිළිබඳ අරගල කළ ප්‍රජා අතර සංකේතාත්මක විරුදාවලියක් ලබා ගන්නා ලදී. මේ තුළින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ප්‍රකාශ කිරීම හමුවේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව අතින් විවිධත්වයක් දැක්වූ ප්‍රජා මුහුණපාන වෙනස්කම්, කෙණහිලිකම් හා හිංසන පිළිබඳ ආදර්ශමත් පණිවුඩයක් ලොවට ගෙන හැර පාන ලදී. 

නව මුලන් චිත්‍රපටය එළිදැක්වීම තුළින් මෙම සංවාදය නවතකට යොමු වනු ඇති බවට නොඅනුමානය! එය 2020 වර්ෂයේ මාර්තු මස 27 වන දින තිරගත වීමට නියමිතය.

නව මුලන් චිත්‍රපටයේ මුලන් ගේ චරිතයට රංගනයෙන් දායක වීමට අයදුම්කරුවන් 1000ක් අභිබවා අවස්ථාව උදා කර ගන්නේ ලියු යිෆෙයි ය. කතාන්දරය 1998 මුල් ඩිස්නි කෘතියෙන් තරමක වෙනස්කමක් ගනු ඇති බවට ද වාර්තා වෙයි. කෙසේ වෙතත්, චීන ජනප්‍රවාදයේ පැමිණෙන තම පවුල රැක ගැනීමට සටන් බිමට පිවිසෙන මුලන් නම් අභීත දිරිය දියණිය ගේ යළි ආගමනයේ කතාන්දරය ලොව පුරා මිලියන ගණනක් වූ ප්‍රේක්ෂක ජනතාවගේ හද බැඳ ගනු නොඅනුමානය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි