ඇඩොල්ෆ් හිට්ලර්ගේ දෙවැනියා, එහෙමත් නැතිනම් නියෝජ්‍ය නායකයා වුණේ රුඩොල්ෆ් හෙස්. ඔහු 1941 අවුරුද්දේදි දෙවැනි ලෝක යුද්ධය උත්සන්න වෙමින් පවතින විට ස්කොට්ලන්තයට පළා ගියා. ඉන්පස්සෙ මුළු ජීවිත කාලය පුරාම ඔහුට ජීවත් වන්නට සිදුවුණේ යුධ සිරකරුවෙක් විදිහටයි. නමුත් ජර්මනියේ ස්පැන්ඩෝ හි සිරගත කර සිටි රුඩොල්ෆ් හෙස්, ඇත්තම හෙස්ද? ඒක මුල පටන්ම අබිරහසක් විදිහට ඉතිරි වෙලා තිබුණු ප්‍රශ්නයක්. දැන් ඒ අබිරහස විසඳන්න තාක්ෂණය පිහිටට ඇවිත්.
conspiracy theory එකක් විදිහට දෙවන ලෝක යුද්ධ ඉතිහාසය පුරා පැවතුණු මේ සිදුවීම රසවත් ඉතිහාස කතාවක්. 1941 මැයි මාසයේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නියෝජ්‍ය නායකයා ජර්මනියේ සිට ස්කොට්ලන්තය බලා තනිවම පළා යන්නේ බ්‍රිතාන්‍යය සහ ජර්මනිය අතර සටන් විරාමයක් ගැන කතා බහ කරන්නයි. ඒ වන විට තමන් දෙවන ලෝක යුද්ධයෙන් අන්ත පරාජයක් ලබන්න ආසන්න බව ජර්මනියට වැටහෙමින් තිබුණා.
නමුත් ඊට පස්සෙ සිද්ධ වුණේ ඔහුව එංගලන්තයෙදි අත්අඩංගුවට අරන්, දෙවන ලෝක යුධ සමයේ කළ යුධ අපරාධ ගැන හොයන නියුරම්බර්ග් යුධ අපරාධ අධිකරණයට භාර දුන්නු එකයි. එතැනින් ඔහුව ජර්මනියේ බර්ලින් නුවර පිහිටා තිබුණු ස්පැන්ඩෝ සිරගෙදරට ඔහුව යැවෙනවා. අවසානයේ 1987 වසරෙදි ඔහු මිය යනවා.
ඔහුගෙ සිරකරු අංකය වුණේ “Spandau #7”. නමුත් ඇත්තටම ඒ හිටියෙ හිට්ලර්ගෙ දෙවැනියාද?
ඒ කාලයේ ඇමරිකානු ජනාධිපතිවරයා වුණේ ෆ්‍රෑන්ක්ලින් ඩි රුස්වෙල්ට්. ඔහු, මේ සිටින්නේ හෙස් නොව වෙනත් අයෙක් බව තරයේ විශ්වාස කළ කෙනෙක්. ඩබ්. හියු තෝමස් නමැති බ්‍රිතාන්‍ය වෛද්‍යවරයාත් මේ මතයට පොහොර දැම්මා.
අවසානයේ බ්‍රිතාන්‍ය රජය මේ සිදුවීම ගැන සොයන්න විමර්ශන 4 ක් පවත්වනවා. නමුත්
“doppelgänger conspiracy” නමින් ප්‍රකට වුණු මේ අබිරහස, එහෙමත් නැතිනම් කුමන්ත්‍රණකාරී රහස විද්‍යානුකූලව අවසානයක් දකින්න අවුරුදු 70 ක් ගත වුණා.
ඒ දක්වා පැවතුණු සැකයන් කිහිපයක් තිබුණා. රුඩොලර්ෆ් හෙස් නීතියෙන් පැන ගිහින් පිටරටක පදිංචි වී රහස් ජීවිතයක් ගත කළාද? ඔහු වෙනුවෙන් සිරබත් කෑවේ ‘ඩමියක්‘ද? අවසානයේ ජර්මානු රජය 2011 වසරේදී තීරණය කරන්නේ ඔහුගේ යැයි කියැවුණු, එහෙමත් නැතිනම්
“Spandau #7” ගේ මළසිරුර නැවත ගොඩ ගන්නටයි. එය තමයි, ඒ සිරුර ඔහුගේ ද කියා
DNA තාක්ෂණයෙන් තහවුරු කර ගන්නට තිබුණු අවසන් අවස්ථාව.
දැන් ඒ අබිරහස විසඳිලා. DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිත්. ඒ අනුව
Spandau #7 යනුවෙන් සිරබත් කෑවේ නාසි යුධ අපරාධකරුවා වුද, හිට්ලර්ගේ දෙවැනියා වූ ද රුඩොල්ෆ් හෙස් බවටම දැන් තහවුරු වී තිබෙනවා.
හෙස් ඉතිහාසය පුරාම මාතෘකා සැපයූ අයෙක්. ඔහු නාසි පක්ෂයේ ප්‍රධානතම දේශපාලකයෙක්. ඒ වගේම හිට්ලර්ගේ සමීපතම මිත්‍රෙයක්. එක්සත් රාජධානිය සමග ඔහු සටන් විරාම ගිවිසුමක් සඳහා අසාමාන්‍ය විදිහට උත්සාහ කළා. නූතන නාසි ව්‍යාපාරය, එහෙමත් නැතිනම් ‘නියෝනාසි‘ ව්‍යාපාරය තුළ අදටත් ඔහුට වීරයෙකුගේ පිළිගැනීමක් තිබෙනවා. ඔහුගේ සිරුර භූමදාන කළ වුන්සීඩෙල් නගරය ( Wunsiedel ) නියෝ නාසීන්ගේ ජනප්‍රියම විරෝධතා භූමියක්. 2011 වසරේදී ඔහුගේ සිරුර ගොඩගැනීමෙන් පසු ජර්මානු බලධාරීන් ඔහුගේ සිරුර භෂ්මාවශේෂ බවට පත් කර ඒ අළු මුහුදට දමා සොහොන විනාශ කළා.
නමුත් ඒ අවස්ථාව වන විටත්හෙ ස්ගේ DNA සාම්පල බලධාරීන් විසින් ලබාගෙන තිබුණා. විශේෂත්වය එයයි. ස්පැන්ඩෝ බන්ධනාගාරය පවතින්නේ එක්සත් රාජධානියේ පාලනය යටතේයි. නමුත් එහි පරිපාලනයට ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය සම්බන්ධ වෙනවා. ඔවුන් මේ භූමදාන කටයුතු සිදුවන මාසය පුරාම මාරුවෙන් මාරුවට එහි කටයුතු අධීක්ෂණය කළා.
1982 වසරේදී ඇමරිකානු වෛද්‍යවරයෙක් වන ෆිලිප් පිට්මන් ( Phillip Pittman) හෙස්ගේ රුධීර සාම්පලයක් ලබාගෙන තිබුණා. ඒ, සාමාන්‍ය පරිදි සිදුකරන සෞඛ්‍ය පරීක්ෂාවේ එක් අදිරයක් වශයෙන්. මේ අතර ව්‍යාධිවේදියෙකු (පැතලොජිස්ට්) වූ රික් වාල් (Rick Wahl) අන්වීක්ෂ කදාවක බහා එහි සෛල ගණනයක් ද සිදුකර තිබුණා. එම කදාවට නම තබා තිබුණේත්
“Spandau #7 යනුවෙන්. ඉන්පසු එම කදාව සම්පූර්ණයෙන්ම වායු රෝධක කර වොෂින්ටන් ඩීසී හි වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යයන කටයුතු සඳහා ඔහු විසින් පරිස්සම් කරගෙන තිබුණා.
1990 දශකයේ මැද භාගයේ තවත් ඇමරිකානු හමුදා වෛද්‍යවරයෙකු වූ ෂර්මන් මැකෝල් (Sherman McCall ) හට එම හමුදා රෝහලේ නේවාසිකව සේවය කරමින් සිටින අතරවාරයේ මේ රුධිර කදාව ගැන අසන්නට ලැබුණා. මැකෝල් අණුක ව්‍යාධිවේදිය (molecular pathology ) පිළිබඳ විශේෂ පුහුණුවක් ලද කෙනෙක්. හෙස් සම්බන්ධ ඓතිහාසික අබිරහස විසඳා ගැනීමට තමන්ගේ දැනුම පාවිච්චි කරන්නට ඔහු කල්පනා කළා. ඔව්…, ඇත්තටම එය නම් කදිම අදහසක්.
ඉන්පසු මැකෝල්, ඔස්ට්‍රියාවේ සැල්ස්බර්ග් සරසවියේ නීති වෛද්‍ය අංශයේ DNA ඒකකයේ අණුක ජීව විද්‍යාඥයෙකු වන ජැන් කෙම්පර් (Jan Cemper-Kiesslich) ඇමතුවා. හෙස්ගේ අබිරහස විසඳා ගැනීමට යොදාගත හැකි වියළි ලේ කදාව ගැන ඔහු සමග පැවසුවා.
වෝහාරික DNA ක්‍රමවේදයන් සමග කටයුතු කරමින් කෙම්පර්ගේ කණ්ඩායම වියළි ලේ කදාවෙන් DNA අණු වෙන් කර ගත්තා. ඩේවිඩ් අර්වින් (David Irving) නමැති, යුදෙව් සංහාරයක් සිදුවුණු බව ප්‍රතික්ෂේප කළ විද්වතාව ද ඔවුන් මේ සඳහා සම්බන්ධ කර ගත්තා. අර්වින්, මේ අවස්ථාව දකින්නට ඇත්තේ හෙස්ගේ නිර්දෝෂී බව ඔප්පු කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් ලෙස. ඔහු වහාම හෙස්ගේ පුත්‍රයා වන වොල්ෆ් රුඩිගර් හෙස් ( Wolf Rüdiger Hes) ගේ දුරකථන අංකය ලබාදුන්නා. නමුත් එම දුරකථන අංකය කිසිදා සම්බන්ධ කර ගත හැකි වුණේ නැහැ. හෙස් පුත්‍රයා ඒ වන විටත් මිය ගිහින්.
මේ අනුව හෙස්ගේ ජීවතුන් අතර සිටින ලේ ඥාතීන් සොයාගැනීම අනිවාර්යයෙන් කළ යුතු වුණා. ඒ පවුල අතිශය පුද්ගලික ලෙස, සමාජයීය නොවන ජීවිතගත කරමින් සිටි අයයි. ඒ වගේම හෙස් වාසගමෙන් යුත් පවුල් රාශියක් ජර්මනියේ සිටින නිසා රුඩොල්ෆ් හෙස්ගේ පවුලේ අය සොයාගැනීම කිසිසේත්ම ලෙහෙසි වුණේ නැහැ. නමුත් අවසානයේ ඔවුන් එය කළා. ඔවුන්, ඒ වන විට ජීවතුන් අතර සිටි හෙස්ගේ පිරිමි ඥාතියෙකුගෙන් DNA සාම්පල ලබාගැනීමට සමත් වුණා.
වෝහාරික DNA විශ්ලේෂණය කේන්ද්‍රීය ගත වුණේ වයි ක්‍රෝමසෝමය (පිරිමි වර්ණදේහය) (Y chromosome) වෙත සහ ගෙනෝමයේ වෙනත් කොටස්වල සලකුණු වී තිබූ ජානමය ලක්ෂණ වෙතයි. ඒවා සමාන බව සොයාගැනුණා. එම පිරිමි ඥාතියාා සහ හෙස් පවුලේ තවත් සාමාජිකයෙක් අවසානයේ ලබාගත් DNA ප්‍රතිඵල සටහන නිරීක්ෂණය කළා. ඒ වගේම ඔවුන් එයට සිය අනුමැතිය ද ලබාදුන්නා. නමුත් ඒ සොයාගැනීම් සම්බන්ධ වැඩිදුර සංවාදයකට එළඹීමෙන් ඔවුන් වැළකී සිටියා.
මේ අතර, තවත් අපූරු සිදුවීමක් වුණා. හෙස්ගේ භාර්යාව වුණු අයිල් ( Ilse), කිසිදාක මේ කතාව විශ්වාස කළේ නැහැ. වරක් ස්පැන්ඩෝ හි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා මුණ ගැසුණු වේලාවේ ඇය විහිළු කර තිබුණේ ‘‘කොහොමද දැන් doppelgänger කේස් එකේ තත්වය?“ යනුවෙන් අසමින්.
හෙස්ගේ ජීවතුන් අතර සිටින පවුලේ ඥාතීන් සහ හෙස්ගේ රුධිර සාම්පලයේ තිබුණු ඩීඑන්ඒ අණුවල ව්‍යූහය 99.99 ක්ම ගැළපෙන බව සංඛ්‍යාන විද්‍යාත්මකව තහවුරු වුණා. ඒ අනුව පර්යේෂකයන් මෙසේ කිව්වා. “that prisoner ‘Spandau #7’ indeed was Rudolf Hess, the Deputy Führer of the Third Reich”. ‘‘ඒ සිරකරු, ‘Spandau #7’ නියත වශයෙන්ම හිට්ලර්ගේ ජර්මානු අධිරාජ්‍යයේ දෙවැනියා වන රුඩොල්ෆ් හෙස් ගේ ය.“
මෙයට අදාළ පර්යේෂණ ප්‍රතිඵලය Forensic Science International Genetics හි පළ වී තිබෙනවා. මේ පර්යේෂණ සැලකෙන්නේ දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම වැදගත් චරිතයක් සම්බන්ධයෙන් සිදුකෙරුණු වැදගත්ම විද්‍යාත්මක අනාවරණය ලෙසයි.
මූලාශ්‍රය: නිව් සයන්ටිස්ට් New Scientist