×

ගේබ්‍රියෙල්ගේ සමරිසි භීතිකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පිළිතුරු!

එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් පිළිබඳ සිදුවීම සම්බන්ධයෙන් බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු ක්‍රීඩක ෂැනොන් ගේබ්‍රියෙල් හට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා


බටහිර ඉන්දීය කොදෙව් ෂැනොන් ගේබ්‍රියෙල්, සාන්ත ලුසියා හි පැවති 3 වන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිය ශතකය වාර්තා කිරීමේ යුහුසුළුව යෙදී සිටි ජෝ රූට් හට මොනවාදෝ කීවේය.

ගේබ්‍රියෙල්ගේ බසට පිළිතුරු ලෙස එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් ලබාදුන් පිළිතුර මෙසේ ය.

“Don’t use it as an insult. There’s nothing wrong with being gay.”
‘‘ඒක අපහාසයක්. ගේ (සමරිසි) වන එකේ කිසිම වැරැද්දක් නෑ.“!

ඔහුට එසේ පවසන්නට හේතු වූ, ගේබ්‍රියෙල් පැවසූ අපහාසාත්මක වචනය කුමක්දැයි ජෝ රූට් හෙළි කරන්නේ නැත. නමුත් එය සිතාගැනීමට අපහසු ද නැත.

ස්කයි පුවත්සේවය මේ පිළිතුර දැක්වෙන පෝස්ට් එකක් නිකුත් කිරීමත් සමග, ඒ වෙත අන්තර්ජාතික අවධානය, නොවැළැක්විය හැකි පරිදි යොමු විය.

මේ අපහාසය ද දරාගෙන ජෝ රූට් ලකුණු 232 ක් සමග එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පසුව ඔහු පැවසුවේ, තමන් කළේ නිවැරදි යැයි සිතන දෙය බවයි.

‘‘යහපත් මිනිසුන් බොහෝ සිටිනවා. මේ සිදුවීම නිසා ඔවුන්ගේ හොඳ නමට කැළලක් වීම ලැජ්ජාවක්‘‘ යැයි මහත්වරුන්ගේ ක්‍රීඩාවේ යෙදී සිටින මහත්වරුන් සහ ඔවුන්ගේ හෝමෝෆෝබියා කල්ක්‍රියාව ගැන අදහස් දක්වමින් ජෝ පසුව පැවසුවේය. එංගලන්ත කණ්ඩායම පවසන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳ සිය පරීක්ෂණ අවසන් කිරීමට පෙර ඒ පිළිබඳ අදහස් නොදක්වන බවයි.

30 හැවිරිදි ගේබ්‍රියෙල් හට මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා කර තිබෙන්නේ එහි ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. එහි 2.13 වගන්තිය යටතේ යම් ක්‍රීඩකයෙකුට, ක්‍රීඩකයන්ගේ උදව්කරුවන්ට, විනිසුරුවරයෙකුට හෝ තරග තීරකවරයෙකුට අන්තර්ජාතික තරගයකදී පුද්ගලික අපයෝජනයක් සිදුකිරීම තහනම් ය.

පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය හෝ ලිංගික නැඹුරුතාවය ඔහුගේ අතිශය පෞද්ගලික දෙයකි. ඔහු ක්‍රිකට් පිටියේදී ඒ දෙකම පාවිච්චි කරන්නේ නැත. නමුත් මෙහිදී පන්දු යවන ක්‍රීඩකයාට පන්දුවට පහර දෙන ක්‍රීඩකයාගේ ලිංගික අනන්‍යතාවය/ලිංගික නැඹුරුතාවය හෝ ඔහු සමරිසියෙකු වීම වැදගත් වී තිබේ. එය ඔහු පාවිච්චි කරන්නේ අනෙකාට අපහාසයක් නොහොත් මානසික අපයෝජනයක් සිදුකිරීම සඳහා ය. කැමරා පිරිවරාගෙන, විකට් පිතිවල පවා මයික්‍රෆෝන සවිකර ඇති විටත් ඔහුට එම අපචාරී හැසිරීම පාලනය කර ගත නොහැකි වී තිබේ!

ගේබ්‍රියෙල්ගේ මෙම හැසිරීම නිසා මේ වන විට කැරිබියානු දූපත්වලට අයත් බටහිර ඉන්දීය කොදෙව් පිලේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හෝමෝෆෝබියා ආකල්ප ගැන ද ජාත්‍යන්තරය කතා බස් කරමින් සිටියි. එහිදී විචාරකයන් පෙන්වා දෙන්නේ ඔවුන් තුළ සමරිසියන් සමග එකට ගැවසීමට තරම් ආත්ම සංයමයක් හෝ දියුණු මනසක් නොමැති බව ය.

හෝමෝ ෆෝබියාව ලෙස හඳුන්වන්නේ ‘සමරිසි හෙවත් සමකාමී පුද්ගලයන් කෙරෙහි දක්වන ෆෝබියාව හෙවත් භීතිකාව‘ යි. මේ භීතිකාවෙන් පෙළෙනවුන් විසින් එම භීතිකාව විවිධාකාරයෙන් මුදාහරිනු ලබයි. නමුත් එවැන්නන්, අන්තර්ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩාවට සුදුසු නැති බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම චෝදනා නැගීම මගින් සාධනීය ලෙස පෙන්වා දෙයි. අනෙකාගේ ලිංගික නැඹුරුතාවයන් හෝ ලිංගික අනන්‍යතාවය දරාගත නොහැකි අයෙක්, මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ මහත්මයෙකු ලෙස හැසිරීමට අසමත් බවට ගේබ්‍රියෙල් සහ ජෝ රූට්ගේ සිදුවීම හා ඒ පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දරන ස්ථාවරය අපට ඉඟි කරයි. එය, ක්‍රිකට් ක්‍රීඩාව තවමත් ‘මහත්වරුන්ගේ ක්‍රීඩාවක්‘ ලෙස පවතින බවට ද සාක්ෂියක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි