×

‘‘අපට අපේ සතුරා මුණ ගැසී ඇත. ඒ සතුරා අපම ය.‘‘- ලෝක මිහිකත දිනයේ 50 වැනි සංවත්සරය අදයි!

ලෝක මිහිකත දිනයේ 50 වැනි සංවත්සරය 2020 අප්‍රේල් 22 වැනිදා වන අද දිනයට යෙදී තිබේ.


එදා 1970 වසරේදී මිලියන 20 ක් වූ ඇමරිකානුවෝ සාමකාමී ලෙස රැස් වී පාරිසරික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටියහ. ඒ, කැලිෆෝනියා වෙරළ තීරය මහා පරිමාණ තෙල් කාන්දු වීමකින් දූෂණය වූ පසුබිම තුළ ය. එයින් හරියටම අඩ සියවසකට පසු අද දිනයේ ලෝකය මිහිකත දිනය සමරන්නේ, මිනිස් පහස නැති විට මිහිකත කොතරම් සතුටින් සිටින්නේදැයි මේ තරම් පසක් කරදුන් කාලයක් තවත් නැති වකවානුවක ය. එනම්, කොවිඩ් වසංගතය විසින් ලෝකයම වෙළාගෙන, මුළු ලෝකයේම විනාශකාරී පරිසර ක්‍රියාකාරකම් මුළුමනින්ම නැවතී හෝ අඩාල වී ඇති පරිසරයක් තුළ, පරිසරයේ විනාශකයා වන මිනිසා රෝ බියෙන් ආතුරව සිය නිවෙස් තුළ සැඟවී සිටින යුගයක ය.

Tehran Times

මේ වසර අගදී ජෛව විවිධත්වය සහ පාරිසරික වෙනස්වීම් සම්බන්ධයෙන් නව ගෝලීය ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් පැවැත්වීමට නියමිත ව තිබූ COP15 සහ COP26 පරිසර සමුළු දෙකම මේ වන විට කල් දමා තිබේ.

අද දිනයට යෙදී තිබෙන ලෝක මිහිකත දිනය ලොව පුරා හැකි අයුරින් සමරනු ලබන්නේ ද වර්චුවල් ලෙස හෝ ඔන්ලයින් ක්‍රමයට ය. ලොව පුරා දේශපාලන නායකයන්, ක්‍රියාකාරිකයන් ඇතුළු පරිසරයට සංවේදී තැනැත්තන් සහ බලපෑම් සහගත පුද්ගලයන් විසින් පැය 24 ක් මුළුල්ලේ ප්‍රථම වතාවට එය සමරන්නේ ලෝකයේ විවිධ තැන්වල හුදෙකලාව ය.

කොවිඩ් වසංගතය ලෝකය වෙළා ගන්නා විටත් අප සිටියේ වඳ වී යන යුගයක (an age of extinction) ය. බොහෝ දෙනා පෙරයීම් කළේ ඒ වඳවී යාම සිදු කරනු ඇත්තේ හදිසි පාරිසරික විපත් විසින් බවයි. නමුත් කිසිවෙකු නොසිතූ පරිදි ඒ වඳ වී යාම ලකුණු කර තිබෙන්නේ අනපේක්ෂිත වෛරස් වසංගතයක් විසිනි.

කාර්මික ජාතීන්ට අයත් මහා පරිමාණ කර්මාන්තශාලා වසා දැමීමත් සමග වායු දූෂණය ඇස් අදහා ගත නොහැකි පරිදි පහළ ගියේය. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර, ‘මිහිතලය රැක ගැනීම සඳහා සතියක් කම්හල් වසා දමමු‘ යැයි යමෙකු පැවසුවේ නම් ඔහුව පිස්සෙකු සේ සලකා පිටමං කිරීමට ඉඩ තිබිණි. නමුත් දැන් තත්වය වෙනස් ය. මිහිතලයේ පරම සතුරා බවට පත්ව සිටියේ මිනිසාම බව ඒ නිසා මේ ගෝලීය වසංගතය අපට පසක් කර දෙයි.

මේ, ඉන්දියාවේ සුප්‍රසිද්ධ ඉන්ඩියා ගේට් යුධ ස්මාරකය ආශ්‍රිත පරිසරය 2019 ඔක්තෝබර් 17 වැනිදා දිස්වූ ආකාරය සහ 2020 අප්‍රේල් 8 වැනිදා දිස්වූ ආකාරයයි. මිනිසුන් ගෙතුළට වැදුණු පසු අහස නිල් පැහැ වී ඇත. දුහුවිල්ල නැති තරම් ය. වාතලය පැහැදිලි ය. පිරිසිදු ය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පමණක් නොව ලෝකයේ මහා නගර සියල්ලේම පාහේ තත්වය මේක ය.

ලෝක කාලගුණ විද්‍යා සංගමය ප්‍රකාශ කරන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය 6%කින් පහළ වැටෙනු ඇති බවයි.

ඇත්ත! ප්‍රවාහන, කර්මාන්ත සහ බලශක්ති යන ලෝකයේ පරිසර දූෂණයට දායක වන ප්‍රධානතම සාධක ත්‍රිත්වය මේ වන විට අඩපණ වී තිබේ. නමුත් ඒ අඩපණ වීම කොතරම් දුරකටද? චීනය දැන් ලහි ලහියේ සිය කර්මාන්තශාලා විවෘත කරමින් යයි. අහිමි වූ ලාභයටත් සරිලන පරිදි ඔවුන් සිය නිෂ්පාදන ධාරිතාව වේගවත් කිරීමට දත කනු ඇත.

ඒ නිසා, මහා නගරවල නිල්වන් අහස් කුස සහ කෙමෙන් ලියලන හරිත වන ගොමු අතර අප මේ දකින්නේ තාවකාලික සිහිනයක් බව නිසැක ය.

ගෑස් මුහුණු ආවරණයක් පැළඳගෙන නිව්යෝක් නුවර සිටි හෝල් හි පිපුණු මැන්ගොලියා මලක් පොකුරක සුවඳ බලන විද්‍යාල සිසුවෙක් – මේ 1970 අප්‍රේල් 22 සැමරූ පළමු මිහිකත දිනයේ ඡායාරූපයකි. අද දින අප ද මිහිකත දිනය සමරන්නේ මුහුණු ආවරණයක් පැළඳගෙන ය. Photograph- AP

එදා 1970 වසරේ පවත්වනු ලැබූ පළමු මිහිකත දිනයේ පෝස්ටරයක මෙසේ සටහන් විය. “We have met the enemy and he is us.” – ‘‘අපට අපේ සතුරා මුණ ගැසී ඇත. ඒ සතුරා අපම ය.‘‘

එයට වසර 50කට පසුව, ඒ කියමන අද එදාටත් වඩා වලංගු ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි