×

රික්ටර් මාපකයේ 6.7 ක් සනිටුහන් කරමින් පිලිපීනයේ භූකම්පනයක්!

දැනට පුද්ගලයින් සය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


අද (29) දින දකුණු පිලිපීනයේ මධ්‍යම මින්ඩනාඕ ප්‍රදේශයේ භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ 6.7 ක ප්‍රභලත්වයක් සලකුණු කරමින් හටගත් මෙම භූකම්පනය හේතුවෙන් ප්‍රදේශයේ දේපල රැසකට අලාභහානි සිදුව ඇති අතර ජීවිත හානී ද වාර්තා වී තිබේ.

දැනට වාර්තා වන අන්දමට පුද්ගලයන් සය දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර ප්‍රදේශවාසීන් තුවාල ලබා ඇත.

එමෙන්ම ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසංධි වීමක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බලධාරීන් විසින් වහා ප්‍රදේශවාසින් එම කලාපයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන් පවසා සිටියේ පසු කම්පන මාලාවක් ඇතිවීමේ අවදානමක් පවතින බවත්, ප්‍රදේශවාසීන් හට එම කලාපයට ඇතුළු වීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දුන් බවත් ය.

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය (Philippine Institute of Volcanology and Seismology: Phivolcs) නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එකී භූකම්පනය උදෑසන 09.04 (0104 GMT) කොටබාටෝ හි ටුලුනන් ප්‍රදේශයේ ඊසාන ප්‍රදේශයට වන්නට සැතපුම් 16 (කි.මී. 26) ක දුරකින් හට ගෙන ඇති බවයි.

මෙම භූකම්පාව පිලිපීන ජනපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ උපන් ප්‍රදේශය වන ඩාවෝ නගරය ඇතුළු දිවයිනේ වඩාත් ජනාකීර්ණ නගර හා පළාත් දක්වා දෙදරුම් කෑමට හේතුවූ බවට සඳහන්. 

එම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ හා අවට පාසල් වසා දමා ඇති බවට ද වාර්තා වේ.

භූගෝලීය වශයෙන් බහුලව දෙදරුම් හට ගන්නේ පැසිෆික් සාගරයේ අග්නි වළල්ල (Ring of Fire) නමින් හැඳින්වෙන කලාපයේ ඇතිවන භූකම්පා බහුලව පිලිපීනයට බලපායි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි