×

එබෝලා වෛරසය උගන්ඩාවටත් පැතිර යන ලකුණු

එබෝලා වෛරසය කොන්ගෝවේ සිට උගන්ඩා දේශසීමාව පසුකරයි. කඩිනමින් ක්‍රියාකරනනේ නම් පාලනය කළ හැකි බවට විද්වත්හු පෙන්වා දෙති.


ගතවූ සතිය තුළ එබෝලා වෛරසය කොන්ගෝ රාජ්‍යයේ සිට උගන්ඩා වෙත පැතිර ගිය බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, කඩිනමින් නිසි ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරන්නේ නම් වෛරසය පාලනය කළ හැකි බවට විද්වත්හු පෙන්වා දෙති.

පසුගිය සඳු දින කොන්ගෝ රාජ්‍යයේ පැවති අවමංගල්‍ය කටයුත්තකට සහභාගී වූ පවුලක් උගන්ඩාවේ තම නිවෙස් කරා පැමිණ ඇත. මෙම අවමංගල්‍ය කටයුතු පැවතියේ එබෝලා වෛරසයෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් වන අතර, මිය ගිය පුද්ගලයාගේ දියණිය ඊට සති කිහිපයකට පෙර උගන්ඩාවේ සිට කොන්ගෝ රාජ්‍යයට පැමිණියේ තම පියාණන් හට සාත්තු සප්පායම් කිරීමටය.

අවමංගල්‍ය කටයුතු අවසාන වීමෙන් පසු නැවත තම මව්බිම කරා පැමිණීම සඳහා උගන්ඩා දේශ සීමාව අසලට පැමිණි එම පවුලේ බහුතරයක් සාමාජිකයන් අධික උණ තත්ත්වයෙන්ද, අතීසාර තත්ත්වයෙන් ද පෙලී ඇති බවට වාර්තා වේ. වහාම රෝහල් ගත කළ පවුලේ සාමාජිකයන් වෙන වෙනම කාමර වල ආරක්ෂිතව තබා ප්‍රතිකාර සඳහා යොමුකරන ලදී. එහෙත් රාත්‍රිය ළඟා වන විට එම පවුලේ සාමාජිකයන් සය දෙනෙකු (කුඩා දරුවකුද ඇතුළුව) රෝහලෙන් පලා ගොස් දුර්වල පොලිස් ආරක්ෂාව සහිත උගන්ඩා දේශසීමාව පසු කර ඇත. දින කිහිපයකට පසු එම පවුලේ මිත්තණිය හා එම කුඩා දරුවා මිය ගිය බවට වාර්තා වේ.  

එබෝලා වෛරසය කොන්ගොව තුළ පැතිර ගිය අයුරු (මූලාශ්‍රය: UN OCHA; BBC)

සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවන්නේ, එබෝලා වෛරසය ඉතා පහසුවෙන් විනිවිද යා හැකි උගන්ඩා දේශසීමාව ඔස්සේ සමස්ත රාජ්‍යයට පැතිර යාමේ අවදානමක් පවතින බවයි. උගන්ඩා දේශ සීමාව සැතපුම් 500 කට වඩා විහිදී යන අතර, බොහෝ හරස්මාර්ග අවිධිමත් ය. ඇතැම් විට නොගැඹුරු ගංගා හරහා ලෑලි කිහිපයක් දමා තරණය කිරීමට ඇත. වෙළෙඳුන්, ඔවුන් රැගෙන යන බිත්තර මළු හා බාල්දි, හෝ මස් සඳහා රැගෙන එන කුකුළන්.. ආදී ඕනෑම ආකාරයකින් උගන්ඩා දේශසීමාවට වෛරසය පැතිර යාමේ අවදානමක් පවතී.

කොනගෝ රාජ්‍යය තුළ මෙම දරුණු වෛරසය පාලනය කිරීමට අපහසු වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ, කලහකාරී කලාපයක් තුළ එය පැතිර යාමයි. දේශයේ නැගෙනහිරට වන්නට පිහිටි එම කලාපය තුළ සන්නද්ධ පුද්ගලයන් 120ක් පමණ වනයේ සැඟව සිට මිනිසුන් පැහැර ගැනීමට හෝ ලිංගික හිංසන සිදු කිරීමට පෙළඹ තිබේ. එමෙන්ම, ඔවහු මෙම කලාපයේ රත්‍රන්, ජංගම දුරකතන බැටරි වල කෝල්ටන් වැනි ඛනිජ සම්පත් ජාවාරමේ නිරත වන අතර, ඇතැම් විට ගම්මාන වෙත කඩා පැන ගොවිපළ සතුන් සොරකමේ යෙදෙති.

මෙම තත්ත්වය තවත් ව්‍යාකූල කරමින්, ප්‍රදේශවාසීන් හට බලධාරීන් පිළිබඳ පවතින විශ්වාසය පළුදු වී හමාරය. සෞඛ්‍ය නිලධාරීන් පවා නිතර සැරිසරන්නේ හමුදා සන්නද්ධ පුද්ගලයින් සමඟ නිසා, පවතින භීතිය හමුවේ ඔවුන්ගෙන් ප්‍රතිකාර ගැනීමට ප්‍රදේශවාසීහු මැලිවෙති.

කොන්ගෝ රාජ්‍යයේ නැගෙනහිර කලාපයේ පිහිටා ඇති බුටෙම්බෝ නම් මෙම ප්‍රදේශය හඳුන්වන්නේ එබෝලා කලාපය යනුවෙනි. විදේශිකයන් මුදල් ඉපයීමේ කූට අරමුණින් එබෝලා වෛරසය සිතාමතාම මෙම කලාපයට රැගෙන ආ බවට ප්‍රදේශවාසීන් ගේ විශ්වාසයයි.

කොන්ගෝවේ නැගෙනහිර කලාපයේ සන්නද්ධ කල්ලි අතින් ගිනිබත් වූ එබෝලා චිකිත්සක මධ්‍යස්ථානයක්

එම කලාපයේ එබෝලා වෛරසය පැතිර යාම ආරම්භ වූ කාලයේ පටන්ම සෞඛ්‍ය සේවකයින් හා එබෝලා චිකිත්සා මධ්‍යස්ථාන හට විවිධ අවස්ථා වල මැර ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වෙයි. ඇතැම්විට මෙම සන්නද්ධ කණ්ඩායම් එම මධ්‍යස්ථාන ගිනිබත් කර දැමීමට පෙළඹී ඇත. මෙහි සැබෑ අරමුණ කුමක්ද යන්න තවමත් අපැහැදිලි ය.

කෙසේ වෙතත්, උගන්ඩා රාජ්‍යය තුළ එබෝලා වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කිරීම රඳා පවතින්නේ එරට ජනතාව රජය කරා තිබෙන විශ්වාසය මත බව විද්වත්හු පෙන්වා දෙති. තම අසල්වැසි කොන්ගෝ රාජ්‍යය මෙන් එබෝලා වෛරසයට තවමත් ගොදුරු නොවූ උගන්ඩා රාජ්‍යය එරට මෙන් ගැටුම්කාරී තත්ත්ව වලටද තවමත් මුහුණ දී නැත. එමෙන්ම ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් එරට පවතී. කඩිනමින් ක්‍රියාකරන්නේ නම් වෛරසය සාර්ථකව පාලනය කළ හැක්කේ බව විද්වත්හු පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි