×

ඉක්වදෝරය චීනය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට එකඟතාවයකට එළඹි හැටි!

තම මිත්‍ර රාජ්‍ය සමඟ ණය ගිවිසුම් වලට එළඹීමේදී එකඟවන කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් චීනය විශාල ප්‍රසිද්ධියක් දරනු ලබයි.


චීනය සමඟ එක්ව සිය ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ඉක්වදෝරය චීනය සමඟ ගිවිසුම්ගත වූයේ ඉකුත් සැප්තැම්බර් 20 වන දින ය.

ඒ මත, 2025 වර්ෂය වනතුරු ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක ණය සහනයක් ඉක්වදෝරයට ලබා දීමට චීනය එකඟ විය.

ඉකුත් දශකයක පමණ කාලය පුරාවට ඉක්වදෝරයේ ප්‍රධාන මූල්‍ය සහකරු වූයේ චීනය වන අතර, මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීම චීන බැංකු ඔස්සේ සිදුවන බව එරට රජය නිවේදනය කළේය.

ඉක්වදෝරය මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය සමඟ ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අපේක්ෂා කරන බවට එරට වත්මන් ජනපති ගිලෙර්මෝ ලසෝ මහතා පැවසුවේ ඉකුත් පෙබරවාරි මාසයේ වන අතර, දිගු කාලීන තෙල් අලෙවිය සඳහා චීනයේ බීජිං අගනුවර සමඟ ගිවිසුම්ගත වීමට අපේක්ෂා කරන බව ද පවසා තිබිණි.

මීට අදාළව දෙරට අතර සාකච්ඡා පැවැත්වූයේ ඔහුගේ පූර්වගාමියා වූ හිටපු ජනපති රෆායෙල් කොරියාගේ පාලන සමයේදී ය.

ඒ අනුව, චීන සංවර්ධන බැංකුව (China Development Bank: CHDB) සහ චීන අපනයන-ආනයන බැංකුව (Export-Import Bank of China: Eximbank) යන බැංකු දෙකම සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 සහ ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක ණය ලබා ගැනීමට ඉක්වදෝරය දැන් ගිවිසුම්ගත වී ඇත.

මෙමඟින් ආර්ථික අර්බුදය හමුවේ ඉක්වදෝරයේ ණය කල්පිරීම දීර්ඝ කිරීම සහ ක්‍රමක්ෂය අඩු කිරීම අපේක්ෂා කෙරේ.

චීන සංවර්ධන බැංකුවේ ණය හරහා ණය කල්පිරීම 2027 වර්ෂය දක්වාත් චීන අපනයන-ආනයන බැංකුවේ ණය හරහා ණය කල්පිරීම 2032 වර්ෂය දක්වාත් දීර්ඝකර ගැනීමට ඉක්වදෝරය සමත් වූ අතර, මෙමඟින් එරට රජයේ ප්‍රමුඛතා සපුරා ගැනීමට හැකිවනු ඇති බව එරට ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබිණි.

තවද, ඇතැම් ණයවලට අදාළ පොලී අනුපාතික අවම කර ගැනීමට සහ සියලු ක්‍රමක්ෂ මාස 06 ක සහන කාලයකට අත්හිටුවීමට චීන අපනයන-ආනයන බැංකුවේ සහාය ලබා ගැනීමට ඉක්වදෝරය සමත්ව තිබේ.

2021 මැයි මස බලයට පත්වූ ගිලෙර්මෝ ලසෝ මහතා ඉක්වදෝරයේ කඩා වැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීමට බහුපාර්ශ්වික සංවිධාන කිහිපයක් සමඟම සාකච්ඡා පැවැත්වූ අතර, එම සාකච්ඡාවල සාර්ථකභාවය හේතුවෙන් එකී සංවිධාන ඉක්වදෝරයට මූල්‍ය සහාය සැපයීමට එඟකතාවය පළ කර තිබේ.

තව ද, ජාත්‍යනත්ර මූල්‍ය අරමුදල සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 6.5 ක ණය එකඟතාවයකට එළඹීමට ද වත්මන් ඉක්වදෝර ජනපතිවරයා සමත් වූ අතර, එම එකඟතාවය 2022 වසර අවසානයත් සමඟ අවසන් වේ.

ඉක්වදෝරය සහ චීනය අතර ඇති එකඟතා අතර, තෙල් ලබා ගැනීමට සමඟාමීව චීන තෙල් සමාගමක් වන සීඑන්පීසී (CNPC) වෙත යම් යම් අපනයන නිදහස් කිරීම ද ඇතුළත් වන අතර, ඉක්වදෝරයට නිශ්චිත නොවන තෙල් ප්‍රමාණයක් වෙළඳපොල මිලට විකිණීමට මින් ඉඩ සලසා දී ඇත.

ඉක්වදෝර රජයට අයත් බලශක්ති සමාගමක් වන පෙට්‍රොඉක්වදෝර් (Petroecuador) චීන බලශක්ති සමාගම වන පෙට්‍රොචයිනා (Petrochina) සමඟ ගිවිසුම්ගත වී ඇති අතර, මෙමඟින් බොරතෙල් ආනයනය ද සිදුවෙයි.

තම මිත්‍ර රාජ්‍ය සමඟ ණය ගිවිසුම් වලට එළඹීමේදී එකඟවන කොන්දේසි මොනවාද යන්න හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් චීනය විශාල ප්‍රසිද්ධියක් දරනු ලබයි.

මේ අතර, අප ජීවත්වන ශ්‍රී ලංකාව ද මතුව ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ සහාය පතමින් සිටී. මීට අදාළව ජපාන රජය විසින් ද මීට දින දෙකකට ඉහත දී (සැප්. 30) පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට ජපාන රජයේ ‘කොටස ඉටුකිරීමට’ සූදානම් මුත්, චීනය, ඉන්දියාව ඇතුළු අනෙකුත් ණයහිමි රාජ්‍යවල සහයෝගය ලබා ගැනීමට ශ්‍රී ලංකාව විසින්ම කටයුතු කළ යුතු බවයි.

ඡායාරූප: රොයිටර්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි