×

ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම සංසරණය වන මුදල් නෝට්ටුවේ අකුරු වැරදිලා!

ඔස්ට්‍රේලියාවේ අලුත්ම ඩොලර් 50 නෝට්ටුවේ "responsibility" යන වචනය වැරදීමකින් ලියැවී තිබෙන්නේ "responsibilty" යනුවෙනි.


“responsibility” ද? “responsibilty” ද? මේ වතාවේ ගුරුන්ටත් අකුරු වැරදුණේ ඔස්ට්‍රේලියාවේදී ය.

ඒ, ඔස්ට්‍රේලියානු මහ බැංකුව ( The Reserve Bank of Australia (RBA)) විසින් මුද්‍රණය කරන ලද අලුත්ම ඩොලර් 50 නෝට්ටුවේ අකුරු වැරදීම සමග ය.

මෙය සුළුපටු වැරදීමක් නොවේ. ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම සංසරණය වන මුදල් නෝට්ටුව වන්නේ ඩොලර් 50 නෝට්ටුවයි. එසේම කෑෂ් මෙෂින්වලින් වැඩිපුරම ඔස්ට්‍රේලියානුවන් ලබාගන්නා මුදල් නෝට්ටුව වන්නේ ද මෙයයි.

මේ වන විටත් ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6 ක් වටිනා නෝට්ටු කන්දරාවක් ඔස්ට්‍රේලියානු මහබැංකුව විසින් මේ වන විට නිකුත් කර තිබේ.

එනම්, නෝට්ටු මිලියන 46 ක මේ වන විට ‘වගකීමක් නැතිව‘ අකුරු වැරදී තිබේ.

දැන් ඉතින් මේ වරද නිවැරදි කළ හැක්කේ අනාගතයේදී මුද්‍රණය කරන නෝට්ටු සම්බන්ධයෙන් පමණක් බව RBA පවසයි.

මුල් වරට මේ නෝට්ටු මුද්‍රණය කර තිබෙන්නේ පසුගිය වසරේ අගභාගයේදී ය. වැරැද්ද මෙසේ හසු වී තිබෙන්නේ මාස 6කට පසුව ය! කිසිවෙකු විසින් එය විශාලක කාචයක් යොදාගෙන ලොකු කර බලා ඇත!

මේ නෝට්ටුවේ සිටින්නේ ඓතිහාසික චරිතයකි. ඒ, ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරිය වන එඩිත් කොවන් (Edith Cowan) ය.

තණකොළ පිට්ටනියකට සමාන පසුබිමක සිටින එඩිත් කොවන් විසින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ සිදුකළ පළමු කතාවෙන් උපුටාගත් කොටසක් මේ නෝට්ටුවේ කුඩා අකුරින් මුද්‍රණය කර තිබේ. ‘රෙස්පොන්සබිලිටි‘ යන වචනයේ අකුරු වැරදී තිබෙන්නේ මෙහිදී ය.

“It is a great responsibility to be the only woman here, and I want to emphasise the necessity which exists for other women being here,” මෙම පාඨය කිහිප වාරයක් එම මුදල් නෝට්ටුවේ සඳහන් වේ.

50 dollar note with magnifying glass
හරියටම එඩිත් කොවන්ගේ උරහිසට උඩින් මේ වචනය වැරදී තිබෙන අයුරු පෙනේ.

මෙම මුද්‍රණ වැරැද්ද සහිත මුදල් නෝට්ටුවේ එඩිත් කොහෙන්ගේ රුව රැගත් පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ මුද්‍රණය කර තිබෙන්නේ David Unaipon නමැති ආදිවාසී සුප්‍රසිද්ධ ලේඛකයාගේ රුවයි. කෙසේ නමුත් හොඳ වෙලාවට ඒ පැත්තේ අකුරු වැරදීමක් සිදු වී නැත.

පසුගිය ඔක්තෝබරයේ මේ මුදල් නෝට්ටු මුද්‍රණය කළ අවස්ථාවේදී ඒවායේ දිගුකාලීන පැවැත්ම සහ හොර මුදල් නෝට්ටු සංසරණය වැලැක්විය හැකි වන සේ විවිධ ආරක්ෂක පියවර ගෙන තිබිණි. ඒවායේදී මහත් වගකීම් සහගතව ක්‍රියා කළ නමුත් ‘රෙස්පොන්සබිලිටි‘ (වගකීම) වචනය ප්‍රින්ට් කිරීමේදී නම් කිසිවෙකු විසින් කිසිදු වගකීමක් නැතිව ක්‍රියා කර තිබේ!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි