×

ලොව අලංකාරතම ගිනිකන්දක් වන ක්ලියුචෙව්ස්කෙයා සොප්කා 08 දෙනෙකුට මරු කැඳවයි!

යුනෙස්කෝ ලෝක උරුමයක්.. සොබාදහමේ සුන්දරතම, එහෙත් දරුණුතම නිමවුමක්..


යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙන ලොව අලංකාරතම සහ විශාලතම ගිනි කන්දක් වන රුසියාවේ කම්චත්කා අර්ධද්වීපයේ ක්ලියුචෙව්ස්කෙයා සොප්කා ගිනිකන්ද එහි සිසිල් අවස්ථාවේ පවතින විට තරණය කිරීමට තැත්කළ පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

රුසියානු ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට, රුසියාවේ ඈත නැගෙනහිර කලාපයේ පිහිටා ඇති ක්ලියුචෙව්ස්කෙයා සොප්කා ගිනිකන්ද තරණය කිරීමට තැත්කළ පුද්ගලයන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අනතුරට ලක්ව ඇති අතර, ඉන් සය දෙනෙකු පළමුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ ගිනි කන්දෙන් මීටර 4,200 පමණ පහළට ඇද වැටීම නිසාවෙනි.

පුද්ගලයන් සය දෙනෙකුවත් අතරමංව සිටි බව ට එම පුවත් සේවය පළමුව වාර්තා කර තිබූ අතර, මෙම කාලසීමාව තුළ එම ප්‍රදේශයේ ඇති අධික සුළං සහිත දේශගුණය හේතුවෙන් ගැලවුම් කණ්ඩායම් එවීමේ සිදුවූ ප්‍රමාදය මත තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව, දැනට වාර්තා වන අන්දමට සමස්ත ජීවිතක්ෂයට පත් පුද්ගලයන් සංඛ්‍යාව 08 කි. තුවාල ලැබූ එක් පුද්ගලයකුගේ පාදය බිඳී ගොස් තිබේ.

මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව රුසියාවේ කම්චත්කා කලාපයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය රෝමන් වසිලෙව්ස්කි මහතා විසින් තහවුරු කර ඇති බවයි එම පුවත් සේවය වාර්තා කරන්නේ.

යුනෙස්කෝ ලෝක උරුමයක් වන ක්ලියුචෙව්ස්කෙයා සොප්කා ගිනිකන්ද අඩි 15,597 (මීටර 4,754) ක උසකින් යුක්ත ය. අදාළ කලාපයට ගැලවුම් යාත්‍රා ගමන් කිරීම අපහසු වී තිබෙන්නේ මේ දින වල පවතින අධික සුලං දේශගුණය නිසාවෙනි.

තම යාත්‍රා මීටර 3,300 ක උන්නතාංශයකට ගොඩ බැස්වීමට නියමිතව තිබූ නමුත්, එය අසාර්ථක වී තිබෙන්නේ තත්ත්පරයට මීටර 30 (පැයට සැතපුමු 67) ක වේගයෙන් හමා එන සුළං හමුවේ ය. ඒ අනුව, දිවි ගලවා ගත් පුද්ගලයන් බේරා ගැනීමට පැය ගණනක සටනක නිරත වීමට තමාට සිදුවූ බව ගැලවුම් කණ්ඩායම් ප්‍රකාශ කළහ.

මෙම සිදුවීම වන විට එම කලාපයේ උෂ්ණත්වය සෘණ සෙල්සියස් අංශක 14 (ෆැරන්හයිට් 07) ක තිබී ඇත.

හිම සහ අයිස් සමඟ මුසු වූ ගිනිකඳු පාෂාණවලින් නිර්මාණය වී ඇති ක්ලියුචෙව්ස්කෙයා සොප්කා ගිනිකන්ද, එහි උන්නතාංශය සහ පුපුරා යාමේ අවදානම හේතුවෙන් තරණය නොකරන ලෙස කඳු නඟින්නන්ට අනතුරු අඟවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි