×

වසර 44කට පසු US Open බිමේ Grand Slam ටෙනිස් කිරුල බ්‍රිතාන්‍යයට ගෙනදුන් පුංචි කෙල්ල – එමා රාදුකානු

වසර 44 කට පසු බ්‍රිතාන්‍යයට ටෙනිස් ක්‍රීඩාවේ ග්‍රෑන්ඩ් ස්ලෑම් ටයිටලය ලබා ගැනීමට එමා රාදුකානු දැරිය සමත්ව තිබේ. ඒ එක්සත් ජනපදයේ පැවති යූඑස් ඕපන් ටෙනිස් අවසාන තරඟාවලියේදී ය.


තවමත් 18 හැවිරිදි එමා අවසාන ශූරතාවලියේදී කැනඩාවේ 19 හැවිරිදි ලයිලා ෆර්නෑන්ඩස් පරාජය කරමින් මෙම ශූරතාවය ලබා ගත්තාය.

ඉකුත් සෙනසුරාදා (11) දින පැවැත්වූ යූඑස් ඕපන් ටෙනිස් තරඟාවලියේ අවසාන වටය ප්‍රේක්ෂකයන්ට දිස්වූයේ ගැටවර සංග්‍රාමයක් ලෙසිනි. ඊට හේතුවූයේ තරඟවැදි ක්‍රීඩිකාවන් තවමත් 18 – 19 තරම් ලාබාල වයස් වල පසුවීමයි.

ජීවිතයේ ටීනේජ් — නැතහොත් වයස අවුරුදු 13 සහ 19 අතර වයස් වල — අවදියේ පසුවූ තරඟකාරිනියන් දෙදෙනෙකු අතර මෙසේ ටෙනිස් ශූරතාවයේ අවසන් වටයක තියුණු තරඟයක් ලොව අත්දකින්නේ වසර 22 කට පසුව වීමද විශේෂත්වයකි.

පුරා පැය එකකුත් මිනිත්තු 51 ක කාලයක් තුළ එමා 6 – 4 සහ 6 – 3 වශයෙන් කැනේඩියානු ලයිලා පරාජය කරමින් ශූරතාවය දිනා ගත්තාය.

මීට පෙර කිසිදු ක්‍රීඩකයකු ස්ලෑම් අවසාන ශූරතාවලියට සුදුසුකම් ලබා නොතිබිණි. එමෙන්ම තරඟාවලි දෙකක් තරම් කෙටි කාලයක් තුළ ශූරතාවයක් දිනාගත් පළමු කාන්තාව ලෙස ද, 2004 වර්ෂයේදී මරියා ෂරපෝවා ලැබූ ජයග්‍රහණයෙන් අනතුරුව මෙම තරඟය ජයග්‍රහණය කළ පළමු ලාබාලතම ශූරිනිය ලෙස ද එමා ඉතිහාස ගත වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එමා ගේ බලාපොරොත්තුව ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් සතරම ජය ගැනීමයි. ඒ සඳහා මෙම වසර අවසානයේ හොඳම ක්‍රීඩකයින් 100 දෙනා අතරට ඇතුළු වී ලබන වසරේ ජනවාරියේ පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියන් ඕපන් වෙත තරඟවැදීමට එමා උනන්දුවෙන් පසුවෙයි.

එමා සිය කිරුල ගනු ලැබුවේ ඇමරිකානු ටෙනිස් පුරාවෘත්තයක් ලෙස හැඳින්වෙන බිලී ජීන් කින්ග් සහ බ්‍රිතාන්‍ය ටෙනිස් පුරාවෘත්ත ලෙස හැඳින්වෙන වර්ජිනියා වේඩ් සහ ටිම් හෙන්මන් ඉදිරිපිට ය.

එමාගේ ජයග්‍රහණය සඳහා ඈට ඇමරිකානු ඩොලර් මිලියන් 2.5 ක (පවුම් මිලියන 1.8) ක මුදල් ත්‍යාගයක් හිමිවීමට නියමිතය.

අවසාන වරට බ්‍රිතාන්‍යයට ප්‍රධාන ටෙනිස් ශූරතා කිරුලක් ගෙන දීමට සමත් වූයේ වර්ජිනියා වේඩ් ය. ඒ 1977 දී විම්බ්ල්ඩන් හි දීය.

ග්‍රෑන්ඩ් ස්ලෑම් යනු වාර්ෂිකව පැවැත්වෙන ටෙනිස් ක්‍රීඩාවේ ලොව වැදගත්ම තරඟාවලි මාලාවයි. මෙහි තරඟාවලි සතරක් ලොව වටා පැවැත්වේ.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ප්‍රධාන තරඟාවලි සතර වූ ඕස්ට්‍රේලියන් ඕපන් ඕස්ට්‍රේලියාවේ ජනවාරි මසද, ෆ්‍රෙන්ච් ඕපන් ප්‍රංශයේ මැයි – ජූනි මාසවලද, විම්බ්ල්ඩන් හි ජූලි මස ද, ඇමරිකාවේ යූස් ඕපන් අගෝස්තු – සැප්තැම්බර් මාස වල ද පැවැත්වේ.

මෙහි අධීක්ෂණය සිදුවන්නේ ජාත්‍යන්තර ටෙනිස් බලමණ්ඩලය (International Tennis Federation – ITF), ටෙනිස් වෘත්තීයවේදීන්ගේ සංගමය (Association of Tennis Professionals – ATP) සහ කාන්තා ටෙනිස් සංගමය (Women’s Tennis Association – WTA) විසිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි