×

ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය නැවත වරක් මැක්‍රෝන්ට!

ප්‍රංශ ජනාධිපතිවරණයේ ජය නැවත වරක් එමානුවෙල් මැක්‍රෝන් ලබා ගැනීමට සමත්ව තිබේ.


ඒ අනුව, ඊයේ (24) දින පැවති ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවන සහ අවසාන වටය තුළ සිය ප්‍රතිපාක්ෂික අපේක්ෂිකා මැරින් ලි පෙන් පරදවා සියයට 59 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට මැක්‍රෝන් සමත් ව තිබේ.

මැරින් ලි පෙන් ලබාගෙන තිබෙන්නේ සියයට 41 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

2002 වර්ෂයේ ප්‍රංශයේ ගූල්වාදී ජැක් ෂිහාච් ගෙන් පසුව දෙවන ධුර කාලයක් සඳහා තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා මැක්‍රෝන් ය. එමෙන් ම, 1958 වර්ෂයේ චාර්ල්ස් දි ගූල් විසින් බිහිකළ පස්වන ජනරජයෙන් පසුව පළමු ධුරකාලයේ පාර්ලිමේන්තු බහුතරය හිමිකරගෙන නැවත වරක් මැතිවරණයකින් ජයග්‍රහණය කළ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය.

මෙම මැතිවරණය තුළින් ද මැරින් ලි පෙන් ගේ ජාතිකවාදී ජනතාවාදී දැක්ම ප්‍රතික්ෂේප වන බව පෙනී යයි.

කෙසේවෙතත්, මැක්‍රෝන් ගේ ජයග්‍රහණයේ ආන්තිකය 2017 වර්ෂයේ පැවති මැතිවරණයට වඩා කුඩා බව ද පෙනී යයි. 2017 ප්‍රංශ මැතිවරණයේදී මැක්‍රෝන් මහතා සියයට 66 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට සමත්ව තිබිණි.

මැක්‍රෝන් ගේ ඡන්ද වැඩි වශයෙන් ස්ථානගත වී තිබෙන්නේ නාගරික කලාපයන් වල බව නිරීක්ෂණය කළ හැකිය. ප්‍රංශයේ පැරිස්, ලියොන් සහ ටූලූස් ඇතුළු නාගරික ප්‍රදේශ වල සුවිසල් ජයග්‍රහණයක් අත්කර ගැනීමට මැක්‍රෝන් සමත් ව තිබේ. එමෙන්ම, ප්‍රංශයේ වයඹ කලාපය තුළ ඔහු සැලකිය යුතු මට්ටමක ඡන්ද ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත.

මැක්‍රෝන් වාමවාදී නගර වල වැඩි සහයක් ලබාගෙන ඇති අතර, පළමු වටයේදී රැඩිකල්-වාමවාදී ජොන්-ලුක් මිලොන්ෂොන් ට පක්ෂපාතීත්වය දැරූ නිරිතදිග කලාපයේ සහාය ද ලබා ගෙන තිබීම විශේෂත්වයකි.

මැරින් ලි පෙන් මහත්මිය ඉහළ පක්ෂපාතීත්වයක් ලබාගෙන තිබෙන්නේ, දුප්පත් හා ග්‍රාමීය බව වැඩි ප්‍රදේශ වල ය; එමෙන්ම උතුරු හා නැගෙනහිර කාර්මික පරිහානියට පත් වූ ප්‍රදේශවල සහ සංක්‍රමණ ගැටළු බහුලව තිබෙන ගිණිකොන දිග කලාපයේ ය. ප්‍රංශයේ ගිණිකොන දිග කලාපය තුළ ලි පෙන් මහත්මිය නියෝජනය කරන දක්ෂිණාංශික නැෂනල් රැලි පක්ෂයට සාම්ප්‍රදායික වශයෙන් ස්ථාවර ඡන්ද පදනමක් හිමිය. එමෙන්ම එම කලාපය තුළ දක්ෂිණාංශික දේශපාලනයට වැඩි නැඹුරුවක් ඇති වියපත් ප්‍රජාව බහුල ය.

Sources: Ipsos; Sopra Steria; Ministry of the Interior



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි