×

උණුසුම් සුපිරි ඕවරයකින් පසු එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරයි

පුරා සති 6 කට අධික කාලයක් පුරා පැවැත්වුණු 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ඊයේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී අවසන් වූයේ අතිශය තරඟකාරී සුපිරි ඕවරයකින්ද පසුවයි.


මින් පෙර ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කොට නොතිබූ එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරඟය වඩාත් උණුසුම් එකක් වුයේ කලාතුරකින් දක්නට ලැබෙන ලකුණු සමකිරීම් එකක් නොව, දෙකක්ම දැකගැනීමට හැකිවූ බැවිනි. එංගලන්තය ලෝක කුසලාන අවසන් තරඟයකට සුදුසුකම් ලැබුවේ වසර 27 කට පසුවයි.

මෙවර ක්‍රිකට් ලෝක කුසලානය කලින් පැවති තරඟාවලිවලට වඩා වෙනස් ආකෘතියකින් යුක්ත වූ අතර, කාණ්ඩ අතර තරඟ පැවැත්වීම වෙනුවට, මෙවර කණ්ඩායම් 10ම එකිනෙකා හා තරඟ වැදීමෙන් අනතුරුව අවසාන පුර්ව තරඟවලට සුදුසුකම් ලබා ගත්තේය.

Tom Jenkins-The Guardian
Tom Jenkins-The Guardian

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 241ක් රැස්කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායමද පන්දුවාර 50 අවසානයේදී කදුළු සියල්ල දැවී ලකුණු 241ක් රැස් කළේය. කෙසේනමුත්, තරඟය වඩාත් උණුසුම් වුයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම 40 වන ඕවරය පසු කරනවාත් සමගයි.

Flipboard
Flipboard

කණ්ඩායම් දෙකම සම ලකුණු ලබාගත් බැවින්, දෙපාර්ශවයටම අතිරේක ඕවරයක් හෙවත් සුපිරි ඕවරයක් (Super Over) ලබාදීමට තීරණය විය. මෙම ඕවරයේදී වැඩිම ලකුණු ලබාගන්නා කණ්ඩායම අවසන් තරඟය ජයග්‍රහණය කලා සේ සැලකේ.

කලාතුරකින් දක්නට ලැබෙන සුපිරි ඕවරයක් සහිත තරඟයක් ප්‍රථම වරට දක්නට ලැබුනේ 2008 වර්ෂයේදී නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර පැවැත්වුණු විස්සයි විස්ස තරඟයකදීය.

සුපිරි ඕවරයකට සාමාන්‍ය ඕවරයකට මෙන්ම පන්දු 6ක් ඇති අතර, සාමාන්‍ය තරඟයකදී මෙන් පන්දු රකින්නන් 11 දෙනෙක් ඊට සහභාගී වේ. කෙසේ නමුත්, සුපිරි ඕවරයකදී පන්දුවට පහර දෙන්න අවස්ථාව ලැබෙන්නේ පිතිකරුවන් 3 දෙනෙකුට පමණක් වන අතර, පන්දුව යොමු කිරීමට අවස්ථාව ලැබෙන්නේ එක් පන්දු යවන්නකුට පමණි.

Photograph- Sky Sports
Photograph- Sky Sports

සුපිරි ඕවරයෙදී ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන ඕවර 50 තරඟයේදී පිළිතුරු ඉනිම තරඟ කල කණ්ඩායමටයි. ඒ අනුව එංගලන්තය සිය සුපිරි ඕවරය තුලදී ලකුණු 15ක් ලබාගත් අතර, නවසීලන්තයද එක් කඩුල්ලක් අහිමි කරගනිමින් ලකුණු 15ක් ලබාගත්තේය.

සුපිරි ඕවරයේ ප්‍රතිඵල හරහාද තරඟයේ ජයග්‍රහයකයා තෝරාගැනීමට නොහැකි වූ බැවින්, අවසානයේදී වැඩිම හයේ-හතර පහරවල් එල්ල කොට තිබූ එංගලන්තය ජයග්‍රහණය කලේය.

නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් තරඟාවලියේ වීරයා ලෙසද, එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවකු වන බෙන් ස්ටොක්ස් තරඟයේ වීරයා ලෙසද, නම් කරන ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි