×

බ්‍රෙක්සිට් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කරයි!

බ්‍රෙක්සිට් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවේ කිසිදු පදනමක් නොමැති බව යුරෝපා කොමිසම අවධාරණය කරයි.


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාම පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් මෙම සතිය තුළ සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කළ ඉල්ලීම යුරෝපා සංගමය ප්‍රතික්ෂේප කොට තිබේ.

බ්‍රෙක්සිට් ගිවිසුම අහෝසි කර ගැනීමට තවමත් අවස්ථාව තිබියදී ජොන්සන් දිගින් දිගටම අවධාරණය කර සිටියේ පමාවකින් තොරව ගිවිසුම සම්මත කොට එළඹෙන ඔක්තෝබර් 31 වෙනි දින වන විට යුරෝපා සංගමයෙන් නික්ම යාම තහවුරු කර ගත යුතු බවයි. 

යුරෝපා කොමිසම අවධාරණය කර සිටියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බ්‍රෙක්සිට් සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාමේ ගිවිසුමක් සකස් කිරීම සඳහා කිසිදු පදනමක් සපයන්නේ නොැමැති බවයි. ඒ අනුව ජොන්සන් යෝජනා කළ පරිදි උතුරු අයර්ලන්තය පමණක් යුරෝපා සංගමය තුළ රඳවා ගෙන බ්‍රිතාන්‍යයේ ඉතිරි කලාප ඉවත් කර ගැනීම සම්බන්ධ සාකච්ඡා මේ සතිය තුළ සිදු නොවනු ඇත. 

යුරෝපා කොමිසමේ මාධ්‍ය ප්‍රකාශිකා නතාෂා බර්ටෝඩ් ප්‍රකාශ කර සිටියේ බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත කර ගැනීමට නම්, ඒ සඳහා පැහැදිලි සවිස්තරාත්මක යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට තව එක අවස්ථාවක් බ්‍රිතාන්‍යයට ලබා දෙන බවයි. ඈ වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මේ පිළිබඳ දැන් සාකච්ඡා පැවැත්වුවහොත් එය බ්‍රෙක්සිට් අනුමත කර ගැනීම සඳහා නිල වශයෙන් පැවැත්වූ සාකච්ඡාවක් වනු ඇති බැවින්, බ්‍රිතාන්‍යය ඉදිරිපත් කර ඇති යෝජනා මාලාවේ පදනම් විරහිත ස්වභාවය මත එවන් සාකච්ඡාවකට ඉදිරිපත් වීමට යුරෝපා සංගමය සූදානම් නොමැති බවයි. 

මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමා යුරෝපා විරෝධියකු නොවන බවත්, එහෙත් මෙම නව ගිවිසුම හැකි ඉක්මනින් සම්මත කර ගත යුතු බවත් ය. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජොන්සන් පවසා සිටියේ නව ගිවිසුම අනුමත වූ වා හෝ නොවූවාද, එහෙත් කිසිදු පමාවක් සිදු නොකරන බවයි.

කෙසේවෙතත්, ඔක්තෝබර් 19 වන විට නික්ම යාමේ ගනුදෙනුව අනුමත නොවන්නේ නම් බ්‍රෙක්සිට් සඳහා දින ප්‍රමාදයක් සිදුකරන මෙන් ඉල්ලා ජොන්සන් යුරෝපා සංගමයට ලිපියක් යවනු ඇති බවට බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික රජය පළමු වරට පසුගිය සිකුරාදා (04) දින පිළිගත්තේය. මෙම පරස්පර විරෝධයට මේ වන තුරු ජොන්සන් ප්‍රතිචාර දක්වා ද නොමැත.

දැනට තෙවසරකට පෙර ජනමත විචාරණයකින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යා යුතු බවට දක්ෂිණාංශික මතධාරී බ්‍රිතාන්‍යයින් විසින් අනුමත කරගත් අතර, මේ වන තුරු එය පාර්ලිමේන්තුව තුළ තහවුරු කර ගැනීමට බොරිස් ජොන්සන් ඇතුළු හිටපු අගමැතිවරුන් අසමත් වී තිබේ. එමෙන්ම මේ වන විටත් බ්‍රෙක්සිට් ගිවිසුම අනුමත වන්නේ නම් බ්‍රිතාන්‍යයට ඉන් ඇතිවිය හැකි හානිකර තත්ත්වය පිළිබඳ යුරෝපා සංගමය විසින්ම අනතුරු අඟවා ඇත. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි