×

Exclusive: CNN පුවත් සේවය ඉතියෝපියාවේ යුධ අපරාධ වීඩියෝවක් ගවේෂණාත්මකව සනාථ කරයි

ඉතියෝපියාවේ යුද්ධයෙන් නටඹුන් වූ ටිග්‍රි පළාතේ කඳුකරබද ස්ථානයකදී නිරායුධ සිවිල් තරුණයන් කණ්ඩායමක් අමානුෂික ලෙස ඝාතනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක සත්‍යභාවය සීඑන්එන් පුවත් සේවය සනාථ කළේය.


මෙහිදී තරුණ, සිවිල්, නිරායුධ ඉතියෝපියානු තරුණයන් පිරිසක්, ප්‍රපාතයක් අද්දරට කැඳවාගෙන ගොස් ඔවුන්ව ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරන අයුරු දැක්වේ. එහිදී ජීව ග්‍රහයේ සිටින අයව සතුන් මෙන් අත් සහ පාදවලින් ඇදගෙන යාම සිදුකරයි. මෙම වීඩියෝව මුලින්ම ප්‍රචාරය වූයේ Tigrai Media House (TMH) නමැති ඩයස්පෝරා රූපවාහිනී චැනලයක ය.

උණ්ඩ දෙකක් ඇති!

මෙවැනි කම්පනකාරී සිද්ධියක වීඩියෝවක බොහෝ විට දැකගත හැකි ආකාරයට මෙහි රූපරාමු සෙළවේ. නමුත් ගිරි දුර්ගය අවට සුළං ශබ්දය සහ එහි භූමි ලක්ෂණ එයින් පැහැදිලි වේ.

එක් සොල්දාදුවෙකු තවකෙකු අමතා කියන්නේ උණ්ඩ අනවශ්‍ය පරිදි වැය නොකළ යුතු බව ය. අවම උණ්ඩ ගණනකින්, උණ්ඩ දෙකකින් පමණ සියල්ල හමාර කළ හැකි බව ඔහු කියයි. තවද මේ ඝාතනයන් වීර ක්‍රියාවන් සේ සලකමින් වෙඩි ප්‍රහාරවලට පසුව ඔවුන් ප්‍රීති ඝෝෂා නගන අයුරු ද වීඩියෝ පටයෙන් ඇසේ. සිය ග්‍රහණයේ සිටිනවුන්ට නින්දිත බසින් අපහාස කරන ආකාරය ද ඇසේ.

ටිග්‍රි පළාතේ මහිබේරේ දෙගෝ අසල සිදුවූ මෙම සංහාරය, මාස 5 ක් තිස්සේ ඉතියෝපියාවේ සිදුකෙරුණු ම්ලේච්ඡ අපරාධ මාලාවක දිගුවකි. මෙහිදී දහස් ගණන් සිවිල් වැසියන් මරා දමන්නට ඇතැයි සැලකේ. දූෂණයට ලක් කර මරා දැමූ ගණන කිසිවෙකු නොදනියි. ඉතියෝපියානු හමුදාව විසින් මෙම අපරාධ සිදුකරන විට කිසිදු ස්වාධීන මාධ්‍ය වේදියෙකුට පළාතට ඇතුළු වීමට අවසර තිබුණේ නැත. අන්තර්ජාල පහසුකම් ඇතුළු සන්නිවේදන තාක්ෂණ පහසුකම් අවහිර කර දමා තිබිණි. මීට පෙර මේ යුද්ධය සම්බන්ධයෙන් වීඩියෝ කිහිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණියත් ඒවායේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කර ගත හැකි වූයේ නැත.

Fact Checking

CNN පුවත් සේවය මෙම වීඩියෝවේ සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීමේදී ගූගල් සිතියම් තාක්ෂණය පවා උපයෝගී කරගත්තේය. එම ස්ථානය Mahibere Dego ලෙස නිවැරදිව හඳුනාගන්නා ලදී.

වීඩියෝවේ සෑම තත්පරයකින් 1/24 බැගින්ම, එනම් සෑම ෆ්‍රේම් එකක් බැගින්ම ‘වෝහාරික‘ ලෙස තමන් සුපරික්ෂාවට ලක් කළ බව CNN පුවත් සේවය කියයි. ඔවුන් එය හඳුන්වන්නේ ‘‘forensic frame-by-frame investigation‘‘ යනුවෙනි. මේ සඳහා ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ (Amnesty International)  digital verification තාක්ෂණය ද යොදාගෙන ඇත්තේ විශේෂඥ සහාය ද ලබා ගනිමිනි. ඝාතනයට ලක් වූ බවට සැලකෙන පවුල්වල සාමාජිකයන් 10 දෙනෙකුගේ ප්‍රකාශ මෙන්ම ප්‍ර දේශවාසීන්ගේ ප්‍රකාශ ද මේ සඳහා උපයෝගී කර ගන්නා ලදී.

අවසානයේ මේ සියලු සාධක ඔස්සේ CNN පුවත් සේවය නිගමනය කරන්නේ ‘‘අවම වශයෙන් නිරායුධ සිවිල් තරුණයන් 11 දෙනෙකු, ඉතියෝපියානු හමුදා නිල ඇඳුම් ඇඳගත් අය විසින් ඝාතනය කළ බව‘ ය.

ඉතියෝපියාව චෝදනාව ප්‍රතික්ෂේප කරයි

බලාපොරොත්තු විය හැකි ලෙසටම ඉතියෝපියාව විසින් මෙම චෝදනා මේ වන විට ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ මෙවැනි වීඩියෝ සාක්ෂි ලෙස ගණන් ගත නොහැකි බවයි. කෙසේ නමුත් එය තීරණය කරනු ඇත්තේ ජාත්‍යන්තර අධිකරණයක් විසින් වීමට ද ඉඩ තිබේ.

තවත් Channel 4 වීඩියෝවක් නොවේ

2009 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක් එක්සත් රාජධානියේ Channel 4 නාලිකාව මගින් විකාශනය කිරීමේ සිද්ධිය ඔබට මතක ඇති. එහි නිරවද්‍යතාවය මේ මුළුමහත් කාලය මුළුල්ලේම විවිධ මට්ටම්වලින් අභියෝගයට ලක් වී තිබේ. කෙසේ නමුත් ලියා තැබිය යුතු වන්නේ CNN පුවත් සේවය මෙම වීඩියෝවේ සත්‍ය අසත්‍යතාවය සොයාගැනීම සඳහා යොදාගත් තාක්ෂණය මෙම වීඩියෝව සඳහා යොදාගත්තේද යන්න ගැටළු සහගත බව ය. එදා මෙම වීඩියෝව ගැන සොයාබැලීමට පත් කළ පරණගම කොමිසමේ එක් නිර්දේශයක් වූයේ ඒවා සොයාබැලීමට ස්වාධීන විනිසුරුවරුන් පත් කළ යුතු බව ය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලෙස යටගැසුණු මේ මානව හිමිකම් උල්ලංඝනයන්ට අදාළ සිදුවීම් සහ චෝදනා දේශීය මට්ටමෙන් යට ගැසීම පහසු විය හැකිය. නමුත් ජාත්‍යන්තර වශයෙන් අප කිසිවෙක් කිසිවෙකුගෙන් වියුක්ත අය නොවන බව, ඉතියෝපියානු සංහාරය ගැන CNN පුවත් සේවය පළ කළ මෙම ගවේෂණාත්මක වීඩියෝව අපට නැවත වරක් සිහිපත් කර දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි